ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පාපැදි ධාවන ශූරයකු වන ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත විය. මියයන තෙක්ම පාපැදියට පෙම්බැදි සුමනවීර මහතා පසුගිය 27 වැනිදා පස්වරුවේදී පාපැදියෙන් ගමන් කරමින් සිටියදී හෘදයාබාධයකට ලක්වීමෙන් මිය ගියේය. මියයන විට 77 වැනි වියේහි පසු වූ සුමනවීර මහතා 1965 වසරේදී පාපැදි තරග බිමට පිවිසියේය.
එතෙක් මෙතෙක් ලංකාවේ වැඩිම පාපැදි තරග සංඛ්‍යාවකට සහභාගි වී එනම් තරග 1200කට පමණ සහභාගි වී ඉන් තරග 700ක් ජයග්‍රහණය කළ පාපැදි ක්‍රීඩකයා ඔහුයි.1984, 1985, 1986 වර්ෂවලදී ලංකා සවාරිය ඇතුළු දින කිහිපයක් පැවැති පාපැදි තරග රැසකින්ද ඔහු ශූරතාව දිනූ අයෙකි.
කහවත්ත ගුරුගේ මැණික් ආයතනය සංවිධානය කළ දීපව්‍යාප්ත පාපැදි තරගවලින් ජයග්‍රහණය අත්කර ගනිමින් ඔහු ක්ෂේත්‍රයේ නමක් තැබීය.
කහවත්ත සැෆයාර් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මුල් කාලයේදී සුමනවීර පාපැදි තරග බිමේ ජයග්‍රහණ ලබා ගත්තේය. පසුව ඛනිජ තෙල් සංස්ථාවේ රැකියාවක් කරමින් පාපැදි ක්ෂේත්‍රය තුළ නමක් තැබීය. වියපත් වුවත් පාපැදිය අත්නොහළ සුමනවීර මහතා ඔහුගේ ගමන් බිමන්වලට මියයන මොහොත දක්වාම පාපැදිය භාවිත කළේය. ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව මධ්‍යස්ථානයේ සේවය කළ වසර ගණනාවක්ම ඔහු රත්නපුරයේ සිට දිනපතාම සේවයට ගොස් ආපසු නිවෙසට ආවේ කිලෝමීටර සියයකට වඩා දිනපතා පාපැදියෙන් බව පවුලේ ඥාතීහු පවසති.
( එල්. නිරෝෂණ)
Comments
Post a Comment
Your comment will be visible after approval