විදේශයක සේවය කර මෙරටට නැවත පැමිණි තරුණයෙකුට මැලේරියා රෝගය ආසාදනය වී ඇති බවට කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. ටැන්සානියාවේ සිට පැමිණි විසි හය හැවිරිදි මෙම රෝගියා, උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මැලේරියා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඔහු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.ශ්‍රී ලංකාව මීට වසර කිහිපයකට පෙර මැලේරියා රෝගය දේශීය වශයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කර ඇත. එතැන් පටන් මෙරටින් වාර්තා වී ඇති සියලුම මැලේරියා රෝගීන්, විදේශ සංචාරවලදී රෝගයට ගොදුරු වූවන් බව සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මැලේරියා රෝගය ව්‍යාප්ත කළ හැකි ඇනොෆිලීස් වර්ගයේ මදුරුවන් තවමත් මෙරට පරිසරයේ සිටින බැවින්, ආසාදිත රෝගියෙකුට එම මදුරුවෙකු දෂ්ට කිරීම හරහා රෝගය යළිත් දේශීයව ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
රෝහල්ගත කර ඇති රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින අතර, මැලේරියා මර්දන ඒකකයේ නිලධාරීන් විසින් රෝගියාගේ නිවස, ගම්මානය සහ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පුළුල් පරීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබේ. ආසාදිත මැලේරියා පරපෝෂිතයා ශරීරයේ දරා සිටින මදුරුවන් සිටීදැයි හඳුනා ගැනීම මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය සඳහන් කළේ, අදාළ රෝගියාට අවශ්‍ය සියලු ප්‍රතිකාර සාර්ථකව ලබාදෙමින් පවතින බවයි. මැලේරියාව තුරන් කළ රටක් වුවද, විදේශගතව සිට පැමිණෙන අයෙකුට උණ රෝග ලක්ෂණ පහළ වුවහොත්, වහාම මැලේරියාව සඳහා වන රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම අතිශය වැදගත් බව ඇය අවධාරණය කළාය. එමෙන්ම, ප්‍රතිකාර ලබාගැනීමේදී තමන් විදෙස්ගතව සිට පැමිණි බව අදාළ වෛද්‍යවරයා දැනුවත් කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද වෛද්‍ය ප්‍රියංගනී මහත්මිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval