school-children-scared-by-elephant-return-home

 දේවහුව ගොවි ජනපදයේ සිට දුරබැහැර පාසල්වලට යන සිසුන්ට වන අලින්ගෙන් බාධා පැමිණෙන බව වාර්තා වේ. එම සිසුන්ගේ මවුපියන් පවසන්නේ මේ දිනවල අලුයම් කාලයේ කහල්ල, පල්ලෙකැලේ සිට පැමිණෙන වන අලි රංචුවක් පාසල් සිසුන් යන එන මාර්ගවල සැරිසරන බවයි. විශේෂයෙන් දේවහුව, බොරලුකන්ද පාසල හා ඒ අවට ප්‍රදේශයේ ගැවසෙන මෙම වන අලි රංචුව අලුයම 05.00 සිට 07.00 පමණ කාලය දක්වා ගැවසෙන බව ඔවුහු

පවසති.


මේ හේතුවෙන් පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට පැමිණෙන බස්රථවලටද බාධා පැමිණ ඇත. ප්‍රමාද වී පාසල් යෑමට සිදුවන විට තම දරුවන්ගේ අධ්‍යාපනයටද බාධා සිදුවන බව මවුපියෝ පෙන්වා දෙති. ඇතැම් දිනවල තම දරුවන් පාසල් නොගොස් ආපසු හැරී නිවෙස් බලා පැමිණෙන බවද ඔවුහු පවසති. එම වන අලි තර්ජන නිසා දේවහුවේ සිට ආඬියාගල, ගලේවෙල, මාතලේ හා කැකිරාව ආදී නගරවල පිහිටි විද්‍යාලවල අධ්‍යාපනය ලබන 100 දෙනෙක් පමණ සිසුහු දැඩි ලෙස පීඩාවට පත්වී සිටිති.


මේ පිළිබඳව අදහස් දක්වන දේවහුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති ජී.ජී. ගුණදාස මහතා මෙසේ පැවැසීය. “මේ දිනවල දිනපතාම වාගේ අලුයම් කාලයේ බොරළුකන්ද, කොස්ගහහින්න හා තුනේ ඇළ යන ප්‍රදේශවල වන අලි සැරිසරනවා. පිබිදුනගම සිට කහල්ල පල්ලේකැලේ දක්වා ඉදිකර ඇති විදුලි වැට අක්‍රිය වීම මීට හේතුවයි. එම විදුලි වැට තැනින් තැන කැඩී තිබෙනවා. එම ස්ථානවලින් වන අලින්ගේ ආගමනය සිදුවෙනවා. විදුලි වැටේ නිසි නඩත්තුවක් නෑ. මේ නිසා සිසුන් පමණක් නොව ගොවීන්ද දැඩි පීඩාවට පත්වී සිටිනවා. මේ නිසා විදුලි වැට සක්‍රිය කර ඊට විසඳුම් ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”යැයි ඒ මහතා වැඩිදුරත් පැවැසීය.


 තිලක් පල්ලේගෙදර

gossiplanka image 1