
කටුනායක ගුවන්තොටුපලෙන් සිංගප්පූරුව බලා ඊයේ (ජූනි 05 වන දින) සවස පිටත් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 306 දරණ ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබැස්සවීමට සිදුවිය.
ගුවන් යානය පරීක්ෂාවට ලක් කළ ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායම,
එහි හඳුනාගත් කාර්මික දෝෂය නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය වන බව දැනුම් දී ඇත. මෙම තත්ත්වය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ බලධාරීන් විසින් මගීන් ඉන්දුනීසියාවේ හෝටල් කාමරවල තාවකාලිකව නවාතැන් ගැන්වීමට තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, ඉන්දුනීසියානු බලධාරීන් විසින් මගීන් හෝටල්වල රැඳවීමට අවසර ලබා නොදීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත විය. මෙම ගැටලුව විසඳීම සඳහා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීම අවශ්‍ය වූ අතර, ඔහුගේ මැදිහත්වීමෙන් පසුව ගැටලුව සාර්ථකව විසඳා ගැනීමට හැකි වූ බව වාර්තා වේ.
මේ අතර, අදාළ කාර්මික දෝෂය පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික කණ්ඩායමක් අද (ජූනි 06) අලුයම ජකර්තා බලා පිටත්ව ගොස් ඇත. එමෙන්ම,
අතරමං වූ මගීන් ආපසු ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අද දහවල් 1:45ට තවත් ගුවන් යානයක් කටුනායක සිට පිටත්ව යාමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මගීන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව සහතික කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval