
අනුරාධපුරයේ බන්ධනාගාරයෙන් ජනපති සමාව මුවාවෙන් සිරකරුවන් රැසක් නිදහස් කර තිබීමේ වංචාව විමර්ශනය අතරතුර පරීක්ෂණ වලට පහසුවක් වනු පිණිස වැඩතහනමට ලක් වූ ප්‍රධාන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළව
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ජූනි 8 වන දින පස්වරුවේ අත්අඩංගුවට පත්වූ අතර අවසාන අනුමැතිය ලබාදුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ පරීක්ෂණ නිමවනතුරු තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුනි.
ඔහුව අත්අඩංගුවට පත්වන්නේ අද සන්ධ්‍යා කාලයේය.
රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවකුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණේ, පසුගිය ජූනි 05 වන දිනයි.
අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව
එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී තිබුණි.
මෙම නිදහස් කිරීමෙන් අනතුරුව කළ විමර්ශන අනුව මේ ආකාරයට පසුගිය රජය සමයේත් සිරකරුවන් නිදහස් කරදීමේ වංචාවක් මෙම නිලධාරීන් එක්ව සිදුකර ඇති අයුරු අනාවරණය වී ඇත.
මොවුන්ට අල්ලස් ලබාදී ජනපති සමා ලැයිස්තුවට නම ඇතුළත් කරගැනීම හා ඒවා ගැටලුවකින් තොරව අනුමත කරවා ගැනීම සිදුව ඇති බව අනාවරණය වෙමින් පවතී.
මෙම නිදහස් කිරීමේ අනීතික හා අසාධාරණ ක්‍රියාවට නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධවීම ගැටලුකාරීය.
Comments
Post a Comment
Your comment will be visible after approval