ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය ද්වේශසහගත හා ජනතාව කුපිත කරන ආකාරයේ තොරතුරු අන්තර්ජාලයේ මුදාහැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එසේ නියම කෙරිණි.
ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා කොටි නායකයකු හමුවන බවට ආරංචි ඇති බවට හිටපු අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බවත් එම සාකච්ඡාව විවිධ මාධ්‍ය ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම මෙරට දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
ජනාධිපතිවරයා හා රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් එම ප්‍රකාශය සිදු කර ඇති බවට පැමිණිල්ල මඟින් පෙන්වාදී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් දෙන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමත් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.