
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කිරීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඌරගස්මන්හන්දිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට නියෝග කර ඇත.
මත්තක ප්‍රදේශයේ පදිංචි ඒ.සී. මධුශාන් නමැත්තා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව ඊයේ (18) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. එසේම, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසමට ද යොමු කිරීමට නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා,
ශිරාන් ගුණරත්න සහ දිලීප් නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගන්නා ලදී. පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ඌරගස්මන්හන්දිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හේරත් මහතා, එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හිරාන් මහතා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
අනෙක් විනිසුරු දෙදෙනාගේ එකඟතාවය මත විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ සඳහන් වන්නේ, 2019 ජුනි 23 වැනිදා රන්බඩු කොල්ලකෑමේ චෝදනාවක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඌරගස්මන්හන්දිය පොලිසියේ අපරාධ අංශයට රැගෙන ගොස් ඔහුට පහර දෙන අතරතුර ලිංගික වශයෙන්ද අතවර කර ඇති බවයි.
අපරාධයට සම්බන්ධ කිසිවක් පෙත්සම්කරු හෙළි නොකළ විට ඔහුට එල්ලා පහර දී ඇති අතර, පහරදීම හේතුවෙන් පෙත්සම්කරු ඉදිමී ක්ලාන්ත තත්වයට පත්වීම නිසා ඔහු රෝහල් ගත කර ඇති බවද තීන්දුවේ සඳහන් වේ.
දෙපාර්ශ්වයේ සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී පළමු හා දෙවැනි වගඋත්තරකරුවන් වන හ
ේරත් සහ හිරාන් යන මහත්වරුන් පෙත්සම්කරුට අමානුෂික අන්දමින් පහර දීමට වගකිව යුතු බව පෙනී ගිය බවත්, ඔවුන් දෙදෙනා පෙත්සම්කරුගේ සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය තීරණය කර ඇත.
මෙම තීන්දුව මත, ශ්‍රේෂ්ඨාධිකරණය පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන්ට සිය පෞද්ගලික මුදලින් රුපියල් දස ලක්ෂය බැගින් පෙත්සම්කරුට ගෙවීමට නියෝග කර ඇත. තවද, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හරහා තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසමට යොමු කිරීමටද විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.
මෙම නඩුවේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය පෙනී සිටියාය.
මෙම තීන්දුව මගින් පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි ස්ථාවරයක සිටින බව පෙන්නුම් කරන අතර, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මතු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval