police-officer-who-went-to-check-if-he-was-drunk-bitten-by-the-hand

 යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මත්පැන් පානය කර ඇද්දැයි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියකුගේ දකුණු අත සපා කා ඇතැයි කියන පුද්ගලයෙක් පෙරේදා (09) රාත්‍රි අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවැසීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිමුල්ල, බුළුරුප්ප ප්‍රදේශයේ පදිංචිව සිටින 47 හැවිරිදි පුද්ගලයෙකි. 




සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ කෑගල්ල කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් හේරත් (39300), පොලිස් සැරයන් විජේසිංහ (72332) යන නිලධාරීර්න් දෙදෙනා පෙරේදා (09දා) රාත්‍රි බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ රාජකාරී කටයුතු වලට අනුයුක්ත කර ඇති බවත් ඔවුන් දෙදෙනා කෑගල්ල විකල්ප මාර්ගයේ රංවල මංසන්ධියේ සිට රාජකාරී සිදු කරමින් සිට ඇති බවත් පොලිසිය පැවැසීය. කොළඹ දෙස සිට විකල්ප මාර්ගය ඔස්සේ රාත්‍රි 10.20ට පමණ මහනුවර දෙසට ධාවනය කිරීමට ගිය යතුරුපැදියක් නවත්වන ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනා සංඥා ක්‍රියාත්මක කර ඇති බවත් යතුරුපැදිකරු නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති බවත් පොලිසිය පැවැසීය.




පසුව පොලිස් සැරයන්වරුන් දෙදෙනා පොලිස් යතුරුපැදියෙන් නොනවත්වා ධාවනය කරන ලද යතුරුපැදිය පසුපස හඹා ගොස් ඇති බවත් කෑගල්ල, බෙරගල මංසන්ධියේදී නොනවත්වා ගිය යතුරුපැදිය නවතාගෙන ඇති බවත් පොලිසිය පැවැසීය. එම අවස්ථාවේදී පොලිස් නිලධාර්න් දෙදෙනා යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් සැරයන් හේරත් (39300) නිලධාරියාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහළින් සපා කා තිබේ. පසුව යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මත්පැන් පානය කර ඇති බවට පොලිසිය සනාථ කරගෙන තිබේ. සැකකරු ඊයේ 10 වැනිදා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ යන නිලධාර්න්ගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් අනිල් (40286) සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුට පෙර රථවාහන වැරදි 7ක් ඇති බවත් ඉන් 4ක් බීමත්ව රිය පැදවීමේ චෝදනා බවද පොලිසිය පැවැසීය.