nishantha-wickramasinghe-accused-of-wasting-sri-lankan-air-funds-remanded-until-july-1

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ  ජූලි 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (27) නියෝග කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති වික්‍රමසිංහ මහතා නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු සම්බන්ධ විමර්ශනය 2017 වසරේ සිට ආරම්භ කර ඇති අතර,

සැකකරුගේ පදිංචි ලිපිනයන්හි ඔහු නොසිටි බැවින් දුරකථන කුළුණු වාර්තා ඔස්සේ විමර්ශනය කර ඊයේ දහවල් නාවල ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් ගමන් හිතුමනාපේ පාලනය කරමින් සහ මැතිවරණ ප්‍රචාරණ රැලිවලට මුදල් වියදම් කරමින් රජයට පාඩු කර ඇති බවයි.

සැකකරුට එරෙහිව පැමිණිලි තුනක් ඉදිරිපත් කර ඇත:

1. 2014 ජනවාරි 22 දින මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ.එල්. 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම තුළින් ඇමෙරිකානු ඩොලර් 4,512ක රජයට පාඩුවක් සිදු කිරීම.

2. 2014 ජනවාරි 26 දින මාලදිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා යන ගුවන් මගීන් 75 දෙනෙකු යූ.එල්. 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.

3. 2014 දෙසැම්බර් 19 දින කටුනායක 18 කණුව අසල පැවති මැතිවරණ රැලියක ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1,250,000ක මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය තවදුරටත් පැවසුවේ, සැකකරු මුදා හැරීම විමර්ශන කටයුතු සඳහා බාධා එල්ල විය හැකි බැවින් හා සාක්ෂිවලට බලපෑම් එල්ල විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.



සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මුදිත ලොකුමුදලි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු කිසිසේත්ම සාක්ෂි සඳහා බලපෑම් කිරීමක් සිදු නොකරන බවයි. ඔහු තවදුරටත් පැවසුවේ, සාක්ෂි සඳහා බලපෑම් කළේ නම් ඊට වසර 11ක් පමණ කාලයක් තිබූ බවත්, 79 හැවිරිදි සැකකරු රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු බවත්, 2014 වසරේ සිදු වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු දෙවතාවක් අල්ලස් කොමිසමට ගොස් විමර්ශන කටයුතු සඳහා සහය දක්වා ඇති බවත්ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා, විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් ලබන ජූලි 01 වන දින විමර්ශන ප්‍රගතිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට යොමු කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ මුදිත ලොකු මුදලි මහතා සමඟ නීතිඥ නිශ්ශංක පීරිස් මහතා ද පෙනී සිටියහ.

Former SriLankan Airlines Chairman Anthony Nishantha Wickramasinghe was remanded until July 1st by Colombo Additional Magistrate Harshana Kakunawela. He faces corruption charges including misusing company aircraft for personal travel and election campaigns in 2014, allegedly causing losses of over $23,000 to the government. Investigations began in 2017.