new-rules-for-sri-lankans-going-abroad-for-self-employment

ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ක්‍රමවේදයේ වැදගත් සංශෝධනයක් ජූලි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි.



මෙම නව නීතිය යටතේ, ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යෑමට අපේක්ෂා කරන පුද්ගලයෙකු කාර්යාංශයේ ලියාපදිංචි වීමට පෙර, විදේශීය සේවා යෝජකයා විසින් අදාළ රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර රැකියා ගිවිසුම සහතික කරගත යුතු වේ.

මෙම ක්‍රියාවලිය සඳහා ඩොලර් 60ක ගාස්තුවක් අය කෙරෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන් සඳහන් කළ යුත්තේ, මෙම නව නීතිය මුල් අදියරේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13ක පිහිටි තානාපති සේවා සැපයෙන අංශ 15කට පමණක් සීමා වන බවයි. මෙම ක්‍රමවේදය 2025 ජූලි 1 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

වැදගත් කරුණක් වන්නේ, මෙම නව නීතිය වෘත්තීය කාණ්ඩයට අයත් නොවන රැකියාවන් සඳහා පමණක් අදාළ වන බවයි. වෘත්තීය රැකියා ලෙස වර්ගීකරණය කර ඇති රැකියා කාණ්ඩ පිළිබඳ විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හි දැක්වෙන බව වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.

එසේම, තානාපති කාර්යාලය හරහා සේවා ගිවිසුම සහතික කරගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීමට නම්, කාර්යාංශයේ ලියාපදිංචි වන අවස්ථාවේදී තම වෘත්තීයභාවය සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම හෝ විදේශ ගමන් බලපත්‍රයේ වෘත්තිය සඳහන්ව තිබීම අනිවාර්ය වේ.



මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමට ප්‍රධාන හේතුව වන්නේ, ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් විවිධ අතරමැදි පුද්ගලයන්ගේ වංචාවන්ට හා අකටයුතුකම්වලට ගොදුරු වීම වැළැක්වීමයි. විගමනික ශ්‍රමිකයන්ට නිශ්චිත රැකියා ගිවිසුමක් සහිතව, නිසි වැටුපකට, නිශ්චිත කාලසීමාවකට සේවය කර, ගිවිසුම අවසානයේ නැවත ලංකාවට පැමිණීම සහතික කිරීම ජාතික වගකීමක් ලෙස සලකා මෙම තීරණය ගත් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

කාර්යාංශ සභාපතිවරයා අවධාරණය කළේ, දැනට මෙම ක්‍රමවේදය කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13කට පමණක් සීමා වුවද, එහි සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් රටවල්වලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නව ක්‍රමවේදය ඉතා වැදගත් පියවරක් වනු ඇති බව අපේක්ෂා කෙරේ.