දශක ගණනාවක් පුරා පැවති අන්ත දූෂිත නගර සභා පාලනය හේතුවෙන් කොළඹ නගරය මේ ආකාරයෙන් පරිහානියට පත්ව තිබෙන බවත්, ඒ සඳහා විසඳුම් සෙවීමට පත් වූ ආණ්ඩුවක් ලෙස උපරිම කාර්යක්ෂමතාවකින් සහ අවම මහජන මුදල් භාවිතයකින් එය සිදු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බවත් ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.
ඇමැතිවරයා මෙලෙස පැවැසුවේ කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදය අවම කිරීම ඉලක්ක කරගනිමින්, කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම ස්ථාපිත කිරීමේදී අහිමි වූ පොලිස් නිල නිවාසවලට කොළඹ බ්ලුමැන්ඩල්හි ඉදි කළ නිවාස සංකීර්ණයෙන් ( Harbor view residence ) පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි. ඇමැතිවරයා මෙසේ කීවේය.
"වසර ගණනාවක් පුරා පැවති අන්ත දූෂිත නගර සභා පාලනයක් නිසා තමයි කොළඹ නගරය මේ ආකාරයෙන් පරිහානියට පත්වෙලා තිබෙන්නේ.
වාහන අංගණවලින්, වැසිකිළි පද්ධතිවලින් කෝටිපතියන් බිහිවෙලා තිබෙන්නේ මේ දූෂිත පාලනය නිසයි. පසුගිය වසරවල කොළඹ නගරය නිසි සැලසුමක් අනුව දියුණු වූවා නම් ක්වාලාලම්පූර් නගරයට වඩා දියුණු තත්ත්වයට පත් වෙන්න තිබුණා. කොළඹ නගරය සහ ඒ අවට නගරවල සියලුම මාර්ග ලබන වසරේ මුදල් ප්‍රතිපාදන වෙන් කර ජාත්‍යන්තර ප්‍රමිතියට සංවර්ධනය කිරීම ආරම්භ කරනවා. පැරණි වැරදිවලට බැණලා වැඩක් නෑ. අපි විසඳුම් සොයන්න ආව ආණ්ඩුවක්. ඒ විසඳුම් සෙවීම උපරිම කාර්යක්ෂමතාවකින් සහ අවම මහජන මුදල් නාස්තියකින් සිදු කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබෙනවා.
කොළඹ කියන්නේ ආසියාවේ ඇති පැරණිම නගරයක්. සැලකිය යුතු ආකාරයෙන් දියුණු කළ යුතු නගරයක්. දශක ගණනාවක් පුරා මෙහි සංවර්ධනය නිසි පරිදි සිදු වෙලා නෑ. අපට පිටුපසින් තිබූ ලෝකයේ වෙනත් නගර මේ වන විට කොළඹට වඩා බෙහෙවින් ඉදිරියෙන් තිබෙනවා. නගර සැලසුම්කරණයේ අඩුපාඩු නිසා කොළඹ නගරයේ සංවර්ධනයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා.
ඒ තුළින් ජනතාව විශාල වශයෙන් පීඩාවට මුහුණ දී තිබෙනවා. මාර්ග තදබදය නිසා රජයට බිලියන් ගණන් මුදල් වියදම් කිරීමට සිදු වෙලා තිබෙනවා. කොළඹ නගරයේ ඇති අනවසර ඉදිකිරීම් තවත් ප්‍රධාන ගැටලුවක්.
කොළඹ නගරයේ ගුවන් පාලම් 03ක් ඉදිකිරීමට ගත් තීරණයක ප්‍රතිඵලයක් හැටියට කොම්පඤ්ඤවීදියේ පැරණි නිවාස පද්ධතියක් වෙනුවෙන් නව නිවාස දීමට හැකිවීම සම්බන්ධයෙන් අද ඉතාමත් සතුටු වෙනවා. මේ නිවාස දීම මීට පෙර සිදු විය යුතුව තිබූ දෙයක්. ආර්ථික, දේශපාලනික විවිධ හේතු නිසා මේ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රමාදවී නිවාස දීම ප්‍රමාද වුණා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් එරෙහි වූ ඉතාමත් සුළු පිරිසක් නිසා රජයට මාසිකව කුලී මුදල් ලෙස රුපියල් මිලියන 25 බැගින් ගෙවීමට සිදු වුණා. ඒ මුදල සලකා බැලුවොත් තවත් නිවාස 30ක් පමණ ඉදිකිරීමට තිබුණා.
මේ ආකාරයෙන් නිවාස දීමෙන් ඉදිරියේදී මාර්ග පද්ධතියට එක් වන වාහන සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි නිසා ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්.
ඒ සඳහා විශේෂ අත්දැකීම් සහ පළපුරුද්දක් පොලීසියට ඇති නිසා පොලිස් නිලධාරීන් ද සම්බන්ධ කරගැනීම අතිශය වැදගත්.
ඉදිරියේදී අපේ සැලසුම් අතරට එක්වන ප්‍රධාන අංගයක් වන්නේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයි. ඒ තුළින් පොදු ප්‍රවාහනය දියුණු කර මගී ජනතාවට පහසුවක් සැලසීම තමයි අපේ ඒකායන අරමුණ. ඉදිරි වසර 4½ක කාලයේ මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හැකිතාක් ඉදි කර පොදු ප්‍රවාහනය දියුණු කරනවා. පොලීසියත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයත්, ඩිජිටල් අමත්‍යාංශයත් එක්ව මාර්ගගත දඩ ගෙවීම් ක්‍රමය ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ඉතා පුළුල් වැඩසටහනක් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතිනවා. මේ මස 30 වැනිදායින් පසු එය ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේ සාර්ථකව සිදු කිරීමට එකඟතාවෙන්, දූෂණයෙන් තොර කැපවීමෙන් වැඩ කරන දේශපාලනික නායකයන් වගේම නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval