පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විශේෂයෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත ළමුන් රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම රෝග වැළැක්වීම සඳහා ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි. මෙම රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ වසරේ ගතවූ කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව ද ඉහළ අගයක් ගෙන ඇත. චිකුන්ගුන්යා රෝගය මෙලෙස පැතිරීම වසර 16කට පමණ පසුව සිදුවන විශේෂත්වයක් ලෙස වෛද්‍ය අංශ පෙන්වා දෙයි. දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇත.
චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් විධිමත් වාර්තා නොතිබීම හේතුවෙන් නිවැරදි දත්ත ලබා ගැනීම අපහසු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
වත්මන් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී පවතින චිකුන්ගුන්යා ප්‍රභේදය වෙනස් වී ඇති බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙයි. ඩෙංගු ඇති කරන ඊඩ්ස් ඊජිප්ටා මදුරු වර්ගයෙන් මෙවර පැතිරෙන චිකුන්ගුන්යා ප්‍රභේදය වැළඳේ. ඩෙංගු මෙන්ම මෙහිදී ද මදුරු දෂ්ඨනයෙන් වැළකී සිටීම වැදගත් වන අතර, මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම රෝග දෙකින්ම වැළකී සිටීමට උපකාරී වේ. සිකා වෛරසය ද වැළඳෙන්නේ ඩෙංගු සහ චිකුන්ගුන්යා ඇති කරන මදුරුවාගෙන් බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
රෝගයේ අධි අවදානම් කලාප ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ කඩවත, ගොතටුව, බත්තරමුල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශ හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ දැනට පැතිරෙන රෝග පිළිබඳව ලොව පුරා අවධානය යොමු වී ඇති අතර, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් ශ්‍රී ලංකාවේ රෝග අවදානම පිළිබඳව සිය පුරවැසියන් දැනටමත් දැනුවත් කර ඇත.
රෝග ලක්ෂණ
ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝග දෙකම ව්‍යාප්ත වන අවස්ථාවක චිකුන්ගුන්යා රෝග ලක්ෂණ හඳුනා ගැනීම තරමක් අපහසු නමුත් එය දැනගැනීම වැදගත් වේ. මෙම රෝග තත්ත්ව දෙකේදීම මුල් අවස්ථාවේදී අධික උණ, අත-පය වේදනාව (විශේෂයෙන් සන්ධි සහ මාංශ පේශීවල), හිසරදය සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇති වේ. කෙසේ වෙතත්, දින කිහිපයකින් චිකුන්ගුන්යා රෝගයේදී බරපතල ලෙස සන්ධිවල (උරහිස්, දණහිස්, වැලමිටි) සහ මාංශපේශීවල වේදනාව දැනෙයි.
කලාතුරකින් නිදන්ගත ආතරයිටිස් තත්ත්වයට ද රෝගීන් ගොදුරු විය හැකි අතර, මාංශපේශී වේදනාව ඉතා දරුණු ලෙස දැනෙයි. දවස් කිහිපයකට පසු හමේ පැහැදිලිව පලු දැමීමක් (රෑෂ්) දැකිය හැකි අතර, එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට නොහැකි තරමට සිරුරට දුබල වේ. දින කිහිපයකදී නැගිටීමට, ඇවිදීමට පවා අපහසු වේ. ආහාර අරුචිය සහ වමනය ද සිදුවිය හැකිය.
බිබිලි සිරුර පුරාම පැතිරෙන අතර වැඩිපුරම මුහුණ පුරා රතු පැහැති බිබිලි දැකිය හැකිය. නාසය ද අධික රතු පැහැයක් ගනී. ටික දිනකින් රතු පැහැති බිබිලි දුර්වර්ණ වන අතර, ඇතැම් විට කසන සුළු බවක් ද දැනෙයි. චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සති කිහිපයක්, මාස කිහිපයක් පැවතිය හැකිය. උණ නැතත් රෝගියාට සන්ධිවල, පේශීවල ඇතිවන අධික වේදනාව, සිරුරේ දුබලතාව, එදිනෙදා වැඩ කිරීමට නොහැකි වීම යන ලක්ෂණ කාලයක් පුරා පවතී.
චිකුන්ගුන්යා වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝ නොවේ. රෝගය වැළඳෙන්නේ වෛරසය ශරීරගත වූ මදුරුවාගෙන් පමණි. එබැවින් මදුරුවන් බෝවන තැන් නැති කිරීම රෝගය මැඩලීමේදී වැදගත් වේ.
දරුවන්ට බලපෑම
ඕනෑම රෝගයක් දරුණුව බලපෑමට හැක්කේ දරුවන්ටය. වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද රෝගය මුල් අවස්ථාවේදී දරුණු ලෙස බලපෑම් ඇති නොකරන නමුත්, දින කිහිපයකට පසු රෝගය දරුණු වීමට ඉඩ ඇත. වෛරසය ශරීරගත වුවද සමහර දරුවන්ට රෝගය බලපෑම් ඇති නොකරන අතර, තවත් දරුවන්ට සුළු වශයෙන් රෝග ලක්ෂණ ඇති වේ. සමහර දරුවන්ට වෛරසය දරුණු ලෙස බලපෑම් ඇති කරයි.
කලාතුරකින් ඉතා කුඩා දරුවන්ට ස්නායු සංකූලතා ඇතිවීමට ද මෙම රෝගය හේතු විය හැකිය. එන්සෙෆලයිටිස් තත්ත්වය දක්වා රෝගය බරපතල වීමට හැකියාව ඇත. චිකුන්ගුන්යා වැළඳී සිටින දරුවෙක් නිදිමත ගතියෙන්, ව්‍යාකූල බවින් සිටිනවා නම් හෝ දෙපා අප්‍රාණික නම් මෙම තත්ත්වයට පත්ව ඇතැයි සැක කළ හැකිය.
වෛරසය මොළයට ගිය විට මෙනින්ජයිටිස් ඇතිවිය හැකි අතර, අක්මාවට බලපා හෙපටයිටිස්, හෘද ආසාදන, පෙනහළුවලට බලපා නියුමෝනියා වැනි තත්ත්වයන් ද ඇති විය හැකිය.
රෝගය හඳුනා ගැනීම හා ප්‍රතිකාර
විශේෂ රුධිර පරීක්ෂණයකින් චිකුන්ගුන්යාවලට එරෙහි ප්‍රතිදේහ (IgM සහ IgG) ඇත්දැයි තහවුරු කර ගත හැකිය. ඊට අමතරව පීසීආර් පරීක්ෂණය ද (PCR testing) මේ සඳහා යොදා ගනී.
චිකුන්ගුන්යා සඳහා විශේෂ ප්‍රතිකාරයක් නොමැත. ඇඳ විවේකය, විජලනයට පත් නොවී තබා ගැනීම, පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය නිර්දේශය පරිදි ලබා දීම ඉතා වැදගත් වේ. ඇස්ප්‍රීන් වැනි ඖෂධ කිසි විටෙකත් ලබා නොදිය යුතුය.
බොහෝ අවස්ථාවල බරපතල ගැටලු ඇති නොවී වැඩි දෙනෙක් සුවය ලබති.
කොවිඩ්-19 අලුත් ප්‍රභේද
මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන විවිධ තොරතුරු මත පදනම්ව, ඉදිරියේදී සියලු කරුණු ඇතුළත් චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට අදාළ අංශවලට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එක් චක්‍රලේඛයක් මහජනතාව ඉලක්ක කරගනිමින් සහ අනෙක් චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉලක්ක කරගනිමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පෙන්වා දෙයි.
ආසියානු කලාපයේ ඉන්දියාව, තායිලන්තය ඇතුළු ඇතැම් රටවලින් මේ වන විට කොවිඩ් ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර, අසල්වැසි ඉන්දියාවෙන් දින 10ක් තුළ කොවිඩ් ආසාදිතයින් 3,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ගෙවුණු පැය 24 තුළ පමණක් එරටින් නව ආසාදිතයින් 685ක් හමුවී ඇති අතර මරණ 4ක් ද වාර්තා වී තිබුණි.
මෙලෙස ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින් ද හඳුනාගත් අතර, සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙම කොවිඩ් උප ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.
ආරක්ෂිත වීමේ ක්‍රම
අවදානමට ලක් විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම හා දෑත් සේදීම යන සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම තුළින් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය නිර්දේශයයි.
ගර්භණී මාතාවන්ට සහ වයස්ගත පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගය වැළඳුණහොත් එය අසාධ්‍ය විය හැකි බවත්, ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාට ද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.
මේ වන විට සමාජය තුළ උණ රෝගී තත්ත්වයන් පැතිරයාම හේතුවෙන් නිවැරදි සෞඛ්‍ය උපදෙස් වෙත යොමු වීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval