ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම, බාහිර පාඨමාලා සඳහා ගාස්තු අයකරන ක්‍රමවේදය සම්බන්ධයෙන් පැහැදිලි හා විනිවිද භාවයකින් යුත් ක්‍රියාපටිපාටියක් නොමැති බව හෙළිදරව් වී ඇත.
පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා මෙම කරුණු සම්බන්ධයෙන් විමසීම් සිදු කර ඇත. කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලාවලින් ලැබෙන ආදායම දේශකවරුන් අතර බෙදී යාමේ ක්‍රමවේදය පිළිබඳවද සැලකිය යුතු ගැටලු මතුව ඇති බව පෙනී ගොස් තිබේ.
කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, "මේක රාජ්‍ය ආයතනයක්. අපි හිතන්නේ නැහැ මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් කියලා. නමුත් යම් මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යා යුතු බව ඇත්ත. ලාභ ලබන ආයතනයක් ලෙස නෙවෙයි මෙය තිබෙන්නේ" යනුවෙන් පැවසීය.
මෙම රැස්වීමේදී වැඩබලන විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, 2024 වසර තුළ බාහිර විභාග ඒකකය පමණක් ස්වයං පාඨමාලාවලින් රුපියල් මිලියන 1,036ක ආදායමක් උපයා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 866ක වියදමක් දරා ඇත. මෙම වියදම් අතරට දේශන ගාස්තු හා අනෙකුත් වියදම් ඇතුළත් වන බවත්, සමස්ත වියදම් ඉවත් කිරීමෙන් පසු රුපියල් මිලියන 156ක අතිරික්තයක් ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
එමෙන්ම, 2024 වසර තුළ පාඨමාලා වියදම ලෙස සැබවින්ම රුපියල් මිලියන 878ක් වැය වී ඇතත්, මූල්‍ය ප්‍රකාශනවල එය සඳහන් වී ඇත්තේ රුපියල් මිලියන 491ක් ලෙස බව විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. මෙම වියදම්වල වැඩි කොටසක් දේශන ගාස්තු වන අතර, විශ්වවිද්‍යාලය විසින් දේශන ගාස්තු අයකරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් හඳුනාගත නොහැකි බවද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.
තවද, මෙම පාඨමාලා හරහා උපයාගත් ආදායම්වලින් රුපියල් මිලියන 6,875ක ස්ථාවර තැන්පතු දැනට පවත්වාගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම අනාවරණය වූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැඩි පරීක්ෂාවකට ලක් කර, විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කර ඇත. විශේෂයෙන්ම බාහිර පාඨමාලා අංශයේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් නිසි පරිදි විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
මෙම අක්‍රමිකතා පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුව විසින් තීරණය කර ඇති අතර, අදාළ විශ්වවිද්‍යාලයට නිසි ක්‍රමවේද හඳුන්වා දීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval