businessman-ordered-to-stop-and-unload-garbage-truck-parked-in-yodha-canal-reserve

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබූ කැළි කසළ තොගයක් හසලක පල්ලේවත්ත මිණිපේ යෝධ ඇළ රක්ෂිතයට දැමූ පුද්ගලයකුට අධිකරණ නියෝගයක් අනුව එම කසළ තොගය නැවත පටවාගෙන යෑමට සිදු වූ බව පොලිසිය පවසයි.




කුණු කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් හසලක පොලිසිය අධිකරණයෙන්  ගත් නියෝගයකට අනුව එම පුද්ගලයාට නැවත එම කසළ තොගය ඉවත් කරගෙන යෑමට සිදුවූ බව පොලිසිය කියයි.

හසලක පොලිස් නිලධාරීන්, මිණිපේ ප්‍රාදේශීය සභා පරිසර නිලධාරීන් සහ වාරිමාර්ග දෙපාර්තම්න්තුවේ නිලධාරීන් ඉදිරියේදී එම කුණු කසළ ඩෝසර් රථයක පටවා ගෙන ගිය බවත්, දැඩි දුගදකින් යුතු කැළි කසළ තොගයක් ප්‍රවාහනය කර ඉවත් කිරීම සඳහා මුදල් අය කරමින් මිණිපේ මොරයාය ප්‍රදේශයේ පදිංචි ටිපර් රථ රියැදුරකු එලෙස යෝධ ඇළ රක්ෂිතයට පසුගිය 13 හෝ 14 දිනවල ගෙනවිත් දමා ඇති බවත් හසලක පොලිසිය සඳහන් කරයි.


එම කුණු තොගයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන්ගෙන් හසලක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ මිණිපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබුණු පැමිණිල්ලකට අනුව හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රත්නායක මහතා

සහ නිලධාරීන් කණ්ඩායමක් කසළ බැහැර කළ ස්ථානයේ කසළ මලු පරීක්ෂා කිරීමේ දී කසළ රැගෙන ආ ව්‍යාපාරික ස්ථානයේ බිල්පත් කිහිපයක් සොයා ගැනීමෙන් අනතුරුව එම ස්ථානයට කතා කර කසළ රැගෙන ආ පුද්ගලයා සම්බන්ධයෙන් හෙළිවූ බව ද පොලිසිය කියයි. අධිකරණ නියෝගයකට අනුව හසලක පොලිසියේ අධීක්ෂණය යටතේ කැළි කසළ සියල්ල ඉවත් කර පරිසර දූෂණයකින් තොරව රියැදුරුගේ ඉඩමක වළ දැමු බවත් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
(රංජිත් කරුණාවීර )