shiranthis-brother-nishantha-wickramasinghe-arrested

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සහෝදරයකු වන නිශාන්ත වික්‍රමසිංහ මහතා අද (27) දින උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.


 නිශාන්ත වික්‍රමසිංහ මහතා නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ (ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස්) හිටපු සභාපතිවරයකු වන වික්‍රමසිංහ මහතා,

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සමාගමේද හිටපු සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇත.
අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව එල්ල කර ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ජාතික සම්පත් බරපතල ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙනි. මෙම චෝදනාව පිළිබඳ විමර්ශන කටයුතු දිගු කලක සිට සිදු කරමින් පැවති බව අල්ලස් කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ගුවන් සමාගම් දෙකේම ප්‍රධාන තීරණ ගැනීමේ තනතුරු දැරූ වික්‍රමසිංහ මහතා,

එම කාලය තුළ සිදු වූ ආයතනික ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබේ. විශේෂයෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූල්‍ය පාඩු සහ ගුවන් යානා මිලදී ගැනීම හා බදු ගැනීම සම්බන්ධ ගනුදෙනු පිළිබඳව විමර්ශන අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
අල්ලස් කොමිසම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා වික්‍රමසිංහ මහතා රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන බව අනාවරණය වී තිබේ.
.