මොනරාගල දොඹගහවෙල අලුත්ගෙදර මිරිස්යාය පාර නුගගහකිවුල පදිංචි 52 හැවිරිදි කාන්තාවක් වන රතුරාල පුෂ්පා රංජනී මහත්මියගේ නිරුවත් මළසිරුරක් ජූනි 04 වැනිදා ගල්ගුහාවකින් සොයාගෙන ඇති බව දොඹගහවෙල පොලීසිය සඳහන් කරයි.
විමර්ශන වාර්තා අනුව, මියගිය කාන්තාව අවිවාහක තැනැත්තියක් වන අතර මීට මාස අටකට පෙර ඇයගේ සහෝදරිය සමඟ නුගගහකිවුල නිවසේ පදිංචිව සිට ඇත. මරණකාරියට මානසික රෝගයක් තිබූ අතර, ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඇයගේ සහෝදරිය සියඹලාණ්ඩුව, මඩුගම පිහිටි 'සත්සර' නම් නිවසට ගොස් ඇත.
පොලිස් වාර්තා අනුව, සහෝදරිය දුරකථනයෙන් මරණකාරියගේ සුවදුක් නිතර විමසා ඇති අතර, මැයි 31, ජූනි 01 සහ 02 යන දිනවල ඇයට දුරකථනයෙන් අමතා ඇතත්, දුරකථනය ක්‍රියාවිරහිත තත්ත්වයේ පැවතී ඇත.
පසුව, මරණකාරියගේ සහෝදරිය ඇයගේ අනෙක් සහෝදරිය වන චමිලා සමඟ නුගගහකිවුල පිහිටි මරණකාරියගේ නිවසට පැමිණ ඇත. නිවසේ ඉදිරිපස දොර අගුළු දමා තිබුණද, පිටුපස දොර විවෘතව තිබී ඇත. ඔවුන් දෙදෙනා නිවස තුළට ගොස් බැලීමේදී, මරණකාරිය නිදාගන්නා කාමරයේ ඇඳේ කොට්ටය බිම වැටී තිබූ අතර, කාමරයේ ඇඳුම්ද බිම විසිරී තිබෙනු දැක ඇත.
මරණකාරිය ගැන තොරතුරු සොයාගැනීමට නොහැකි වූ බැවින්, සහෝදරියන් දොඹගහවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති (වැඩබලන) එල්.එච්.එස්. සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකර ඇති අතර, ජූනි 04 වැනිදා ප්‍රදේශවාසීන් සමඟ එක්ව නුගගහකිවුල කැලෑබද කඳු ප්‍රදේශයක ගල්ගුහාවක තිබී මරණකාරියගේ යැයි සැක කෙරෙන නිරුවත් මළසිරුරක් සොයාගෙන ඇත.
විමර්ශන නිලධාරීන්ගේ නිරීක්ෂණ අනුව, යම් පුද්ගලයෙකුගේ මැදිහත්වීමෙන් ගල්ගුහාවේ පිවිසුම ගල් සිරකර වසා දමා ඇති බව අනාවරණය වී ඇත.
මරණයට අදාළ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, අතුරුදහන් වූ කාන්තාව 2025 ජනවාරි මාසයේදී බදුල්ලේ 'සුද්දා' නමැත්තාගේ පුතා වන දොඹගහවෙල නුගගහකිවුල පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු විසින් අතවර කිරීම සම්බන්ධයෙන් නඩු කටයුත්තක්ද පවතින බවයි.
පොලිස් විමර්ශන අනුව, එම 27 හැවිරිදි පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු ජූනි 02 වැනිදා සිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සියඹලාණ්ඩුව වැඩබලන මහේස්ත්‍රාත් කසුන් හේරත් මහතා විසින් පවත්වා ඇත. මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී. ලල්මාලී මහත්මිය විසින් පැවැත්වීමට නියමිතය.
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති (වැඩබලන) එල්.එච්.එස්. සිල්වා මහතා විසින් දැනට විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර, ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval