
බේරුවල පරණ කඩේ, ධීවර වරාය පාර ප්‍රදේශයේ පෙරේදා (09) රාත්‍රී ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය බේරුවල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලීසිය කියයි.
එහිදී පොලීසියෙන් අහසට වෙඩි තබා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ බේරුවල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුසංක (අවු. 36), පොලිස් සැරයන් (40588) උපුල් (අවු. 42) හා පොලිස් සැරයන් (53241) සිල්වා (අවු. 51) යන තිදෙනෙකි.
සැකකරුවන් පොලිස් නිලධාරීන්ට අතින් පයින් හා හෙල්මට්වලින් පහරදී ඇති අතර එම පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ උඩ ඇන්දේ දත් දෙකක් කැඩී ගොස් ඇති බවත් සැරයන් සිල්වාගේ නිල ඇඳුම ඉරී සීරීම් තුවාල සිදු වී ඇති බවත් පොලීසිය කියයි. මෙම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වූ බේරුවල ධීවර සංගමයේ සභාපතිවරයා යැයි කියන අයකු සහ ඔහුගේ පුත්‍රයා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර තවත් සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
සිද්ධියට අදාළ ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා බේරුවල රේගුව පාර සහ ධීවර නිවාසවල පදිංචි වයස අවුරුදු 31ත් - 46ත් අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.
පොලිස් නිලධාරීන් බේරුවල, මරදාන ප්‍රදේශයේදී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගෙන ආපසු එමින් සිටියදී බේරුවල ධීවර වරාය අසල සිරිනිවාස මාවත ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හේතුවෙන් මාර්ග තදබදයක් ඇති වී තිබූ බවට වාර්තා වෙයි. පොසොන් පොහොය නිමිත්තෙන් එම පිරිස ලොරි රථයකින් පාරේ කොඩිවැල් එල්ලමින් සිට ඇති බවත් එහිදී මාර්ගය ඉඩ දෙන ලෙසට පොලීසිය එම පිරිසට කියා ඇති බවත් වාර්තා විණි.
මෙහිදී උප පොලිස් පරීක්ෂකවරයා සහ ලොරි රථ රියැදුරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවත් එහිදී අසල සිටි පිරිසක් පොලීසිය සමඟ ගැටුමක් ඇති කරගත් බවත් කියැවෙයි.
එම පැමිණි පිරිස පොලීසියට හෙල්මට්වලින් පහරදී ඇති අතර එහිදී පොලීසිය එම පිරිස පාලනය කිරීමට උණ්ඩ දෙකකින් අහසට වෙඩි තබා ඇතැයි එහි ප්රදේශවාසියෙක් පැවසීය.
කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, පොලිස් අධිකාරී රවිඳු සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
මේ අතර, පොලීසිය මඟින් එහි සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර ප්‍රදේශවාසීහු බේරුවල පොලීසිය ආසන්නයේ ඊයේ (10) විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයක ද නියැළී සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval