are-face-masks-necessary-from-now-on-to-protect-against-coronavirus-a-controversy

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීමට පොදුවේ උපදෙස් දීමට අවශ්‍යතාවක් පැන නොනගින බව අවධාරණය කර ඇත. බස්නාහිර පළාත් සභාව යටතේ ඇති රාජ්‍ය ආයතන වල පරිශ්‍රයන්හි මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ලිපියක් පිළිබඳව මෙම ප්‍රතිචාරය ලබා දී තිබේ. 


බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) බී.ඩී.එන්. දම්මින්ද කුමාර මහතා විසින් 2025.06.02 දිනැති ලිපියක් මගින් පළාත් සභාව යටතේ වූ ආයතන වෙත මුඛ ආවරණ පැළඳීම සම්බන්ධ උපදෙස් ලබා දී තිබුණි. එම ලිපියට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ මහත්මිය වෙත ලිපියක් යොමු කර තිබේ.
සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රතිචාරය ලැබීමෙන් පසු, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය විසින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මුල් ලිපිය අවලංගු කරමින් නව ලිපියක් ජූනි 4 වන දින නිකුත් කරන ලදී.


මුල් ලිපියේ අන්තර්ගතය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාගේ මුල් ලිපිය "මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම" යන ශීර්ෂය යටතේ ආණ්ඩුකාර ලේකම්, බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලයේ ලේකම්, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ආදායම් කොමසාරිස් ඇතුළු පළාත් සභාව යටතේ වූ ආයතන වෙත යොමු කර තිබුණි.
එම ලිපියේ සඳහන් වූයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති බවට අනතුරු අඟවා ඇති බැවින්, කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන්හි කටයුතු කිරීමේදී මුඛ ආවරණ පැළඳීමට සියලුම කාර්ය මණ්ඩල හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස ය.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රතිචාරය
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය වෙත යොමු කළ ලිපියේ පහත කරුණු අවධාරණය කර තිබේ:

කොවිඩ්-19 ගෝලීය වසංගතය 2023 මැද භාගයේදී නිමා වීමෙන් පසුව එම රෝගය අනිකුත් බෝවන රෝග ගණයට ඇතුළත් කර ඇති බව.


ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග තත්ත්වයක් වැසි කාලයේ දී වැඩිවීමත් සමඟ කොවිඩ්-19 රෝගයද ඇතිවීමේ හැකියාවක් තිබෙන බව.
ශ්වසන රෝග කළමනාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව සිදු කරන බැවින් කොවිඩ්-19 වළක්වා ගැනීම විශේෂ අවදානම් තත්ත්වයක් ලෙස දැනට සැලකීමට අවශ්‍යතාවක් නොමැති බව.
මෙවැනි විශේෂිත ක්‍රියාමාර්ග පොදුවේ නිර්දේශ කිරීමෙන් අනිසි ප්‍රතිඵල ඇතිවිය හැකි බව.
ආයතන වෙත මෙවැනි නිර්දේශ ලබාදීම අනිසි බියක් ඇතිවීමට සහ එදිනෙදා කටයුතුවලට බාධාකාරී තත්ත්වයක් උද්ගත වීමට බලපාන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසා බලා පමණක් මෙවැනි උපදෙස් ලබාදෙන්නේ නම් මැනවි යන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශය
සෞඛ්‍ය අමාත්‍යාංශය ජූනි 4 වන දින නිවේදනයක් නිකුත් කරමින් පහත කරුණු තවදුරටත් පැහැදිලි කර තිබේ:

පෞද්ගලික ආරක්ෂාව පිණිස යම් අයෙක් ස්වේච්ඡාවෙන් හෝ වෛද්‍ය උපදෙස් මත මුඛ ආවරණ පැළඳීමේ ගැටලුවක් නැති බව.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව (ඉන්ෆ්ලුවන්සා වැනි) ඇති අය සේවයට පැමිණීම සීමා කිරීමේ අවශ්‍යතාවක් නැති බව.
පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය පවත්වාගැනීම සහ

අන් අයට රෝග බෝවීමේ හැකියාව අඩු කිරීම සඳහා එවැනි රෝග ලක්ෂණ ඇති අය පමණක් මුඛ ආවරණ පැළඳීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම වැදගත් බව.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ ක්‍රියාමාර්ගය
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ ලිපිය ලැබීමෙන් පසු, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතමින් ලිපියක් නිකුත් කර ඇත. එහි සඳහන් වූයේ:

මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම මැයෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය අවලංගු කරන බව.
එම ලිපිය ගැන සමාජ මාධ්‍යයේ වැරදි අර්ථකථන සිදුවීම ඊට හේතුව බව.
මුල් ලිපිය මගින් සමස්ත රට තුළ කොවිඩ් රෝගී තත්ත්වයක් පැතිර යෑමක් හෝ එවැනි අවදානමක් පිළිබඳ මහජනතාව හෝ කිසිදු රජයේ නිලධාරියකු දැනුවත් කිරීමක් හෝ මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්දීමක් කර නැති බව.
පළමු ලිපිය මුල් කරගෙන මුඛ ආවරණ පළඳින ලෙසට යම් අදහසක් සන්නිවේදනය වී ඇතිනම් එය නිවැරදි කරන මෙන් ඉල්ලීමක් කර ඇති බව.