කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද සාර්ථක වැටලීමකදී පෑනක් ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද අතිශය භයානක ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම විශේෂ මෙහෙයුම පාණදුර හොරේතුඩුව පාලම අසලදී සිදු කරන ලද අතර, සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකු බව වාර්තා වේ.
පොලිස් නිලධාරීන් ලද තොරතුරක් මත පදනම්ව සිදු කළ පරීක්ෂාවකදී සැකකරුගේ කලිසම් සාක්කුවෙන් විදේශයක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනි අවියක් සොයාගෙන ඇත.
එම අවිය සමඟ ජීව උණ්ඩ තුනක් හා අවියට අදාළ බහලුමක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ගේ සොයා ගැනීම් අනුව, මෙම ගිනි අවිය විදේශයක නිෂ්පාදිත පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින භයානක ආයුධයකි. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මෙම ගිනි අවිය මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂ්ම ලෙස යොදාගත හැකි බවයි. එහි දිග අඟල් හතරහමාරක් (4.5") පමණ වන අතර, එය පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවක පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇති බව පොලිසිය තවදුරටත් අනාවරණය කරයි.
මෙම ගිනි අවිය කුමන අරමුණක් සඳහා සැකකරු සන්තකයේ තබාගෙන සිටියේද යන්න පිළිබඳව දැනට ගැඹුරු පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. සැකකරු පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙම වැටලීමේ මෙහෙයුම කළුතර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතා සහ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.සී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරුණු අතර, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් ප්‍රසන්න (69478), සමන්තිලක (41104), කොස්තාපල්වරුන් වන තුෂාර (79335) සහ හේරත් (98879) යන නිලධාරීන් මෙම වැටලීමේ මෙහෙයුමට සහභාගී වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval