පහේ ශිෂ්‍යත්ව අධ්‍යාපන ආයතනයක සේවය කරන තරුණියකට ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි චෝදනා ලබමින් පොලිස් අත්අඩංගුවේ සිටි කිඹුලාපිටිය ගල්ලංකඩ පදිංචි ක්‍රිෂාල් අගලවත්ත (අවු.21) නැමැති තරුණයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම තරුණයා "ටීචර් අම්මා" ලෙස හඳුන්වන හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයේ පරිගණක ශිල්පියකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වූයේ යැයි කියන තරුණියද එම ආයතනයේ සේවය කර ඇත.
නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු අනුව, ආයතනයේ පාලිකාව වූ හයේෂිකා නම් ගුරුවරිය මෙම තරුණයාට, එම තරුණියට පරිගණක ශිල්පය ඉගැන්වීමට යොමු කර ඇත. එවැනි අවස්ථාවක ඔහු ඇයට ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි පැමිණිල්ලෙන් කියැවී ඇත. නමුත් චෝදනා ලැබූ තරුණයා පවසා ඇත්තේ මවුස් එක භාවිත කිරීමේදී තරුණියගේ අත ස්පර්ශ වූවා හැර වෙනත් කිසිදු දෙයක් සිදු නොවූ බවයි.
වැඩබලන මහෙස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයේ කරුණු සලකා බලා තරුණයා ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත. නඩුව පිළිබඳ ඊළඟ විභාගය මැයි 21 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ සිදුකිරීමට නියමිතය.
අත්අඩංගුවට ගැනීමේ පසුබිම
ඉකුත් මැයි 14 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසුව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ හයේෂිකා ප්‍රනාන්දු පාර්ශ්වය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවය.
මෙම සිද්ධිය ඊට පෙර දින තරුණයාට හයේෂිකා ප්‍රනාන්දු විසින් පහර දුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වූ විස්තර හේතුවෙන් මහත් ආන්දෝලනයට ලක් වී තිබුණි. එම සිද්ධියෙන් පසු හයේෂිකා ප්‍රනාන්දු දින කිහිපයක් සැඟව සිට පසුව නීතිඥයන් විසින් මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් වී තිබේ.
ඇප මත නිදහස් වූ හයේෂිකා ප්‍රනාන්දු ඉන්පසුව පොලිස් පැමිණිල්ලක් ගොනු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ තරුණයා ආයතනයේ සේවය කරනු ලබන නවක සේවිකාවකට අකටයුතුකම් කිරීමට උත්සාහ කළ බවයි. මේ අනුව තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනී තිබේ.
තරුණයාගේ පවුල කරන චෝදනා
පහර කෑමට ලක් වූ තරුණයාගේ මව ධම්මිකා අගලවත්ත මහත්මිය පවත්වන ලද මාධ්‍ය හමුවකදී පැවසුවේ ඔවුන්ගේ පුතාට තවමත් යුක්තිය හා සාධාරණත්වය ඉටු වී නැති බවයි.
"මගේ පුතාට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. හර්ෂිකා ප්‍රනාන්දු කියන ටීචර් අම්මා තමයි මේකට සම්පූර්ණ මැදිහත් වෙලා තියෙන්නේ. එදා සිද්ධිය මෙන්ම මේ හිරකරගෙන ඉඳලා ඉඳලා මං උසාවි නියෝගය මත දිග ඇරියා. හැමෝටම දැනගන්න අද මට කියන්න තියෙන්නේ මගේ දරුවාට යුක්තිය ඉටු වුණේ නෑ, සාධාරණයක් ඉටු වුණේ නෑ," යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම, 14 වැනිදා පැවති නඩු විභාගයේදී දෙපැත්තේම නීතිඥයන් රැසක් පෙනී සිටි බවත්, පොලිසියේ විරෝධතාවය මත වුවද, හයේෂිකා ප්‍රනාන්දු ඇතුළු චෝදනා ලැබූ පාර්ශ්වයන්ට ඇප ලැබුණු බවත් ඇය සඳහන් කළාය.
තරුණයාගේ වැඩිමහල් සහෝදරිය වන ෂයිනි මහත්මිය ප්‍රකාශ කළේ, ඔවුන්ගේ සහෝදරයාට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනාව අභූත චෝදනාවක් බවයි.
"දැන් එයාලා අපේ මල්ලිට මෙම අභූත චෝදනාවක් කරනවා. මල්ලි ගෑනු ළමයෙකුට කරදර කළා කියල. මේ අපිට ඒගොල්ලො කියන විදිහට මේ අපේ මල්ලි මේ මවුස් එකට අත තියන්න ගිහිල්ලා ඒ අපේ මල්ලිට කියලා තමා මේක පුහුණු කරන්න කියලා තියෙන්නේ. ඒ ගෑණු ළමයට පුහුණු කරන්නට අපේ මල්ලි අත තිබ්බ කියන කාරණාව තමා මේ අතවර කිරීමට තැත්කිරීම වගේ දෙයක් කියන චෝදනාව. නමුත් එක අභූත චෝදනාවක්."
ඇය පැවසූ පරිදි, සිද්ධිය ඔප්පු කිරීමට සීසීටීවී දර්ශන ඇති අතර, මෙම සාක්ෂි ඉදිරිපත් කිරීමට අධිකරණ නියෝගයක්ද ලබා දී ඇත.
තවද, ඇය මෙම සිද්ධිය සැලසුම්සහගත අපරාධයක් ලෙස හඳුන්වමින්, "ඇත්ත කතාව කියන්නේ මේක හරිම පැහැදිලිව සැලසුම්සහගතව කරපු අපරාධයක්. මල්ලිට ගහල, මල්ලිව පොලිසියට ගිහින් දාල, මල්ලිට අර ඒගොල්ලො ගහපු චෝදනාවෙන් ගැලවෙන්න, මල්ලිට මේ ගැහැණු ළමුන් අතර කළා කියන චෝදනාව ගොනු කරලා. එහෙම ඒ විදිහට මල්ලිව අපරාධකාරයෙක් ගානට දාල තියෙන. දැන් ඇත්තටම මල්ලි තමා වින්දිතයා. අපි වින්දිතයෝ. මල්ලි වින්දිතයා වෙලා මල්ලිව දැන් අපරාධකාර ගානට දාල ඉවර," යනුවෙන් ප්‍රකාශ කළාය.
පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහි විනය පරීක්ෂණය
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මෙම විනය පරීක්ෂණය, ස්ථානාධිපතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අනුදැනුමකින් තොරව මාධ්‍යයට තොරතුරු ලබාදීම සහ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු පැමිණිල්ලක් කළ පසු, රෝහල්ගතව සිටි තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර තිබේ.
පසුව මැයි 17 වැනිදා මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට ගොස් ඩෙංගු රෝග තත්ත්වයක් උග්‍රව ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.
තරුණයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාර මහතා කොළඹ ජාතික රෝහලේදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයාට පවසා තිබුණේ, සැකකරු පුරා පැය 72කට ආසන්න කාලයක් පොලිස් භාරයේ සිටි බවයි.
කටාන පොලිසියට ලැබුණු පැමිණිල්ල
සිද්ධියට සම්බන්ධ තරුණිය පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ, අධ්‍යාපන ආයතනයේ ශබ්දාගාරයේ පටිගත කිරීමේ අංශයේ රාජකාරි කරමින් සිට රාත්‍රි 9.30ට පමණ විදුලිය විසන්ධි වූ පසු කාමරයෙන් පිටව යන අවස්ථාවේදී සැකකරු සිය අතකින් අල්ලා ඔහු වෙත ඇදගෙන සිය ලිංගික ප්‍රදේශය මිරිකා තමාව සිප ගැනීමට උත්සාහ කළ බවයි.
නමුත් තරුණයාගේ පවුල ප්‍රකාශ කරන්නේ, මෙය අභූත චෝදනාවක් බවත්, පහර කෑමේ සිද්ධියෙන් ගැලවීමට හයේෂිකා ප්‍රනාන්දු සහ ඇගේ පාර්ශ්වයන් මෙම චෝදනාව ගොනු කර ඇති බවත්ය.
මෙම සිද්ධියේ කරුණු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ හෙට (21) දින නැවත විභාග කිරීමට නියමිතව ඇත. දෙපාර්ශ්වයම ඔවුන්ගේ ස්ථාවරයන් තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval