a-theft-and-a-stabbing-at-lady-ridgeway-childrens-hospital

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවූ සිද්ධියකදී සාත්තු සේවිකාවන්ගේ මුදල් පසුම්බි සොරාගෙන පලායාමට උත්සාහ කළ අවස්ථාවේ සුළු සේවකයෙකුට පිහියකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය වාර්තා කරයි.



අද (20) පෙරවරු 11 හා 12 අතර කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, සැකකරු රෝගීන් බලන මුවාවෙන් රෝහලට ඇතුළු වී ඇති බවත්, ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත් බොරැල්ල පොලීසිය සඳහන් කරයි.



මෙම පුද්ගලයා රෝහලේ තුන්වැනි මහලේ පිහිටි හත්වැනි වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරයට ඇතුළු වී එහි තිබූ මුදල් පසුම්බි සොරාගෙන පලායාමට උත්සාහ කරන අවස්ථාවේ රෝහලේ සුළු සේවකයෙකු ඔහුව අල්ලාගැනීමට උත්සාහ කර ඇත. මේ අවස්ථාවේදී සැකකරු තම බෑගයේ තිබූ පිහියකින් සුළු සේවකයාගේ හිසට පහර දී රෝහලේ පිටුපස තාප්පයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සුළු සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

සැකකරු සොයා ගැනීම සඳහා බොරැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රෝහල් ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අමතර පියවර ගන්නා ලෙස රෝහල් පරිපාලනයට දැනුම් දී ඇත.

gossiplanka image 1