puwarasankulam-oic-remanded-for-accepting-bribe
ඉඩම් ආරවුලක් විසඳා සමථයකට පත් කිරීම සදහා නීතිඥවරයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වවුනියාව පුවරසන්කුලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුර පුෂ්ප කුමාර සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයෙ (27) නියෝග කළාය. වවුනියාව විශ්වවිද්‍යාලය ආසන්නයේ අක්කර දහයක ඉඩමක් සම්බන්ධයෙන් නීතිඥවරයකු කළ පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.




සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම කොමිසමේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර නීතිඥවරයා වවුනියාව ප්‍රදේශයේ මිලදී ගෙන තිබූ ඉඩමකට අදාළව ආරවුලක් පැන නැගී තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු පුරව සත්කුලම් පොලිසිය පැමිණිල්ලක් කර ඇති බවත්ය.

 

පැමිණිල්ලෙන් අනතුරුව එම ඉඩම් ආරවුල සමථයකට පත් කරදිය හැකි බවට සැකකාර පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකරුට පවසා ඇති බවත් ඒ සඳහා තමන්ට රුපියල් ලක්‍ෂ පහක මුදලක් හෝ පර්චස් විස්සක ඉඩම් කොටසක් තමාට ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවට විමර්ශන වලින් අනාවරණය වූ බවද එම නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ. පසුගිය 21 වැනිදා අත්අඩංගුවට පත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික අතුල මහතා තම සේවාදායකයා මෙසේ අල්ලස් ගැනීමක් කර නොමැති බැවින් ඇප ප්‍රදානය කරන ලෙසට ඉල්ලා සිටියේය.දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන හය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.