there-will-be-danger-if-hanuman-comes-to-galle-and-plants-trees

 ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වියළි කලාපීය වනාන්තර සහ පහත් බිම් ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන අළු වදුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙව්රත්න මහතා පවසයි. මෙය ඉතාමත් අසාමාන්‍ය තත්ත්වයක් වන අතර ගෝලීය කාලගුණික විපර්යාස හේතුවෙන් වියළි කලාපීය සතුන් තෙත් කලාපයට සංක්‍රමණය වීමේ පෙර නිමිත්තක් විය හැකි යැයි ද ඔහු පවසයි.






ශ්‍රී ලංකාව තුළ පැරැණි ලොව වානර විශේෂ අතර කළු වඳුරන් උප විශේෂ 04ක්, උනහපුළුවන් උප විශේෂ තුනක් සහ එක් විශේෂයක්, ඊළවුන් උප විශේෂ තුනක් සහ අළු වඳුරන් විශේෂයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සියලුම කළු වඳුරන්, උණහපුළුවන් සහ ඊළවුන් විශේෂ සහ උපවිශේෂ සියල්ල ශ්‍රී ලංකාවට ආවේණික අතර අළු වඳුරා පමණක් මෙරටදී සහ ඉන්දියාවේදී දක්නට ලැබෙයි. මෙම අළු වඳුරන් විශේෂය Semnopithecus priam ලෙස විද්‍යාත්මකව හඳුන්වන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී හනුමා ලෙසද හැඳින්වේ. මෙම විශේෂයේ වඳුරන් ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් සියලුම වානර විශේෂවලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක් සතුන් තරම් කුලෑටි හෝ ලැජ්ජාශීලී සත්ත්ව විශේෂයක්ද නොවේ. ඒ නිසා මිනිසුන් දුටුවද ඔවුන් පලා යන්නේ නැත.


පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසන්නේ මෙම වර්ගයේ සතුන් තිදෙනකු ගාල්ලේ පිහිටි තම ගෙවත්තට පැමිණ අඹ ගසක කොළ කඩා ආහාරයට ගන්නා අයුරු තම පුතු විහඟ සෙනෙවිරත්න විසින් නිරීක්ෂණය කර තිබූ බවයි. එලෙස දුටු අළු වඳුරන්ගෙන් දෙදෙනකු හොඳින් වැඩුණු වැඩිහිටි සතුන් දෙදෙනකු බවත්,

එක් සතකු තවමත් තරුණ වියට පැමිණෙමින් සිටින සතකු බවත් ඔහු පවසයි. විනාඩි 20ක පමණ කාලයක් ඔහුගේ ගෙවත්තේ සිටි මෙම අළු වඳුරන් තිදෙනා පසුව ගඟ ආසන්නයේ කිරල ගස්වෙත ගමන් කළ බවද ඔහු පවසා ඇත. අදින් වසර කිහිපයකට පෙර වියළි කලාපයේ පමණක් දක්නට ලැබුණු මොනරුන් මේ වන විට නිරිතදිග තෙත් කලාපයේ පමණක් නොව උඩරට කඳුකර ප්‍රදේශවලටද පැතිරී සිටියි. එයට හේතුව ගෝලීය කාලගුණික විපර්යාස බව පරිසරවේදීන්ගේ මතයයි.මෙතෙක් වියළි කලාපයේ පමණක් දක්නට ඇති කළු වඳුරන්ද මේ වන විට තෙත් කලාපය දක්වා සංක්‍රමණය වීම ඉදිරියේදී මෙරට පරිසර පද්ධතියේ තුල්‍යතාවයට අහිතකර බලපෑමක් සිදුකරනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
(සජීව විජේවීර)