සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.
"එකම සෞඛ්‍යමත් ලොවක්" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල සියලුම සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත අතර, එම රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් පන්දහසකට අධික රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.
සමුළුවේදී විවිධ රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහිදී ඉදිරිපත් වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත මත පදනම්ව ඉදිරි වසරේ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන හා තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval