
ගණේමුල්ල සංජීව නමැති පාතාලකරුගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අධිකරණයේදී චෝදනා ලබා සැඟවී සිටින ඉෂාරා සෙව්වන්දි යැයි සැක කෙරුණු ඒ නමින් යුතු කාන්තාවක් ඊයේ (මැයි 06) දින කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ඇත. කෙසේ වෙතත්, පරීක්ෂණවලින් අනතුරුව ඇය චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බව තහවුරු වීමෙන් පසු නිදහස් කර ඇත.
මෙම සිද්ධිය ආරම්භ වූයේ කුලියාපිටිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ දැනුම්දීමකට අනුවයි.
වයස අවුරුදු 32ක් වන ඉෂාරා නමැති කාන්තාව ඉඩමක් සම්බන්ධයෙන් පත්ඉරු ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී, කාර්යාලයේ නිලධාරීන් ඇයගේ නම ඉෂාරා සෙව්වන්දි ලෙස සටහන්ව තිබීම හේතුවෙන් සැකයට භාජනය වී ඇත. නිලධාරීන් ඇයගේ හැඳුනුම්පත ද පරීක්ෂා කර ඇති අතර, ඇය කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ වීම හේතුවෙන් නිලධාරීන්ගේ සැකය තවත් වැඩිවී තිබේ.
ඉන් අනතුරුව නිලධාරීන් පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇය පොලිසියට කැඳවා විමර්ශන ආරම්භ කර ඇත. කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය ඇතුළු ආයතන ගණනාවකට තොරතුරු යවා ඇති අතර, ඡායාරූප විවිධ තාක්ෂණික මෘදුකාංග ඔස්සේ විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව, ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බව තහවුරු කරගෙන ඇත. ඉන්පසු පොලිසිය ඇයගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇය නිදහස් කර ඇත.
විමර්ශනයට භාජනය වූ ඉෂාරා සෙව්වන්දි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ, තමාගේ නම අපරාධකාරියකගේ නමට සමාන වීම නිසා පොලිසියට කැඳවා විමර්ශනයක් සිදු කළ බවත්,
තමන් ඊට ඉතා කැමැත්තෙන් සහාය දැක්වූ බවත්ය.
මෙම විමර්ශන කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත සිදු කර ඇත. කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා සහ පොලිස් පරීක්ෂිකා සාවිත්‍රී සිරිමාන්ත මහත්මිය මෙම විමර්ශන පවත්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval