බදුල්ල, මැයි 19: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (19) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා නිදහස් කිරීමට නියෝග කර ඇති අතර, මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 21 වැනි දින කැඳවීමට නියමිත බව වාර්තා වේ.
ඇප ලබා බදුල්ල අධිකරණ සංකීර්ණයෙන් පිටව ගිය මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, යුද ජයග්‍රහණය සැමරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කර තිබේ.
ඔහු සමග ආධාර කරුවන් පිරිසක් හා හිමිනමක්ද එම ස්ථානයට ගිය අතර වංචාවට ඇප ලබාගත් චාමරට ආශිර්වාද කර පිරිත් නූල් ගැටගැසීමට අදාළ හිමි නම කටයුතු කළේය. පසුව ඔහු පිරිස සමග ගොස් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පිරිනැමීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය. ඔහු ඌව පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනුව, චාමර සම්පත් මහතා පළාතේ පෙර පාසල් දරුවන් සඳහා බෑග් ලබා දීමට අදහස් කරන බව පවසමින් රාජ්‍ය බැංකු තුනකින් අරමුදල් ඉල්ලා ඇත. එම බැංකු දෙකක් එකඟ වී ඔහුට රුපියල් මිලියන එකක් සහ රුපියල් මිලියන 2.5ක් ලබා දුන් අතර පසුව ඒවා ඔහුගේ පුද්ගලික පදනම වන චාමර සම්පත් දසනායක පදනමේ ගිණුමට මාරු කර තිබුණා යැයි කොමිෂන් සභාව විසින් හෙළිදරව් කර තිබේ.
අධිකරණය විසින් පනවන ලද ඇප කොන්දේසි සමඟ මන්ත්‍රීවරයා විසින් සැප්තැම්බර් මාසයේ නැවත අධිකරණය හමුවට පැමිණීමට නියමිත අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval