Update: Sister of Anuradhapura doctor rapist arrested - Doctors' strike ends

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයේදී සිදු වූ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තාට පසු, සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

ගල්නෑව නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා අතර 37 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පුරුෂයෙකු සිටින බව පොලිසිය වාර්තා කරයි.
එම කාන්තාව දූෂකයාගේ සොයුරියක බව පැවසෙන අතර ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට උදව් කිරීම සහ දූෂණයට ලක් වූ වෛද්‍යවරියගෙන් සොරකම් කළ බවට සැක කෙරෙන දුරකථනයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතය.

ප්‍රධාන සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැනට අනුරාධපුර පොලිස් ස්ථානයේ රඳවා සිටී. ගල්නෑව පොලිසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

පොලිසිය විසින් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, වෛද්‍යවරිය බිය ගැන්වීම සඳහා භාවිත කළ බවට කියන පිහියක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී වෛද්‍යවරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය වාර්තා වූයේ පසුගිය 10 වන දිනය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශන පවත්වමින් සිටි අතර, ප්‍රධාන සැකරු ඊයේ (12) දිනයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර, එය ඊයේ (12) දිනය වන විට දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත විය.
කෙසේ වෙතත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති අතර, දිවයිනේ අනෙකුත් රෝහල්වල ද වැඩ වර්ජනය අද (13) උදෑසන 8.00ට අවසන් වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

හදිසියේ ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහෝ දෙනෙකු දැඩි අසරණ තත්ත්වයට පත් වූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, වැඩ වර්ජනය අවසන් වීමත් සමඟ දැන් දිවයිනේ සියලු රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව වාර්තා වේ.