Those who were harassed by Yoshitha Hettiarachchi Sir should tell 1929

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තම උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් යෝෂිත හෙට්ටිආරච්චි නම් ආර්ථික විද්‍යා ගුරුවරයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. එම ගුරුවරයාගේ ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුවී තිබේ.


ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ, අදාළ ගුරුවරයාගේ ක්‍රියාකලාපයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් සිටී නම්, ඒ පිළිබඳව අධිකාරිය දැනුවත් කරන ලෙසයි. මේ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ළමා උපකාරක සේවය අමතා දැනුම් දිය හැකි බවත් අධිකාරිය පෙන්වා දී තිබේ.

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන (ආචාර්ය) යෝෂිත රාජපක්ෂ තම පන්තියට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝව පැතිරීමත් සමඟ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.


අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඔවුන්ගේ 1929 ක්ෂණික දුරකථන අංකයට ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ, එනම් ළමයෙකු කෲරත්වයට සහ හිංසනයට ලක් කිරීමේ චෝදනාව යටතේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙම විමර්ශන කටයුතු අතරතුර, අදාළ උපකාරක පන්ති ගුරුවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව අද (11) පස්වරු 2.00ට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කැඳවනු ලැබ තිබේ. නමුත් ඔහු නියමිත වේලාවට පැමිණ නොමැති බව අධිකාරිය සඳහන් කරයි.

මේ අතර, අදාළ ගුරුවරයාගේ උපකාරක පන්තියට සහභාගී වූ බවට සැළකෙන දරුවන් පිරිසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පරිශ්‍රය වෙත අද පස්වරුවේ පැමිණ තිබේ. කෙසේ වෙතත්, අධිකාරිය සඳහන් කරන්නේ මෙම දරුවන් කිසිදු පැමිණිල්ලක් හෝ කරුණු විමසීමක් හෝ පැමිණි අරමුණ පැහැදිලි කිරීමකින් තොරව අධිකාරියේ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බවයි.

ගුරුවරයා අද පස්වරුව වන තෙක්ම අධිකාරිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට අපොහොසත් වී ඇති බැවින්,
ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව, අධිකරණ නියෝගයකින් තොරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි බවත්, ඒ සඳහා කටයුතු කරන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දන්වා සිටී.

මේ අතර ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාරය විසින් යෝෂිත හෙට්ටිආරච්චි නම් ගුරුවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවත්, ඔහුගේ උපාධිය ප්‍රශ්න සහගත බවට යන කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා පවතින නීති රාමුව තුළ, ළමයින්ට එරෙහි හිංසනය නොඉවසන බවත්, එවැනි සිදුවීම් වහාම වාර්තා කිරීමේ වැදගත්කම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කරයි. අධිකාරිය සිය නිවේදනය අවසන් කරන්නේ, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වී කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරමිනි.