
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතැයි කියන චෝදනාවකට අනුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ ගණිත ගුරුවරයෙක් අද (08) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
අරලගංවිල පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන සිටි සැකකරු අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය ඉදිරියේ පෙනී සිටි අතර, ඇය විසින් සැකකරු මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව, අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමටද නියෝග කර ඇත. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් හරහා සැකකරු මානසික සෞඛ්‍ය පිළිබඳ අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අරලගංවිල පොලිසියේ පොලිස් සැරයන් 66073 ඩබ්ලිව්.පී.එස්. වීරක්කොඩි මහතා විසිනි.
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට වරින්වර ලිංගික අතවර කර ඇතැයි ඔවුන්ගේ මව්පියන් කළ පැමිණිල්ලකට අනුව අරලගංවිල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
ලිංගික අතවරයට ලක්වූ බවට කියන සිසුවියන්ගේ දෙමාපියන්ට අධිකරණ පෝරම ලබාදීමෙන් අනතුරුව, සිසුවියන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට යොමු කර ඇති බව අරලගංවිල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් සෙනෙවිරත්න මහතා මාධ්‍ය විමසීමකදී පවසා ඇත.
සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර, පාසල් සහ අධ්‍යාපන ප්‍රජාව තුළ මෙම සිද්ධිය කැළඹීමක් ඇති කර තිබේ. විශේෂයෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සමාජයේ අවධානය යොමු වී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval