
දැන් CID ප්‍රශ්න කිරීමකට ලක්ව අත්අඩංගුවට පත්ව සිටි හිටපු ඇමති මර්වින් සිල්වා මින් ඉහත CID වෙත ගොස් කළ කතා ආන්දෝලනයක් ඇති කර තිබුණි.
පසුගිය 2010-15 මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයට බාධාකාරී පුද්ගලයින් සුදුවෑන් මගින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට කටකතා පැවතියක් ඒවා ඔප්පු කෙරුණ අවස්ථා විරලය. මේ සම්බන්ධව යහපාලන රජය බලයට පත්වූ පසු කථා කරන්නට ඉදිරිපත්වූයේ හිටපු ප‍්‍රකට ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වාය. ඔහු ඒ සම්බන්ධව සෘජුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට චෝදනා කර තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තෝරා පත්කරනු ලැබූ හමුදාවේ කණ්ඩායමක් මෙම සුදුවෑන් මෙහෙයුම පසුපස සිටි මර්වින් සිල්වා මෙහිදී විස්තර කර ඇත.
මීට වසර වසර 10 කට පමණ පෙර කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ
මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු පැහැර ගැනීමට අදාළව විභාගවූ නඩුවේදී රහස් පොලිසිය දන්වා සිටියේ මෙම සුදුවෑන් ගැන මර්වින් සිල්වා මින් පෙර අවස්ථාවක කට උත්තරයක් ලබාදී තිබෙන නිසා එය එම නඩුවට වැදගත්විය හැකි බවයි.
2015/11/05 දින රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි බී. එස්. පෙරේරා මහතාගේ කාර්යාලයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේවාකෝපරගේ මර්වින් සිල්වා නමින් අත්සන් තබා ලබාදුන් කට උත්තරය ඒ අනුව අධිකරණයට ඉදිරිපත් විය.
එහි ඇතුළත් තොරතුරු වලින් කොටසක් පහත පරිදිය.
ප‍්‍රශ්නය - ඔබ විසින් මෙම සිද්ධියට අදාළ රහස් පොලිසිය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ සුදු වෑන් සංස්කෘතිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවයි. එසේ ඔබ කියන්නේ කොහොමද?
පිළිතුර - මා කියන්නේ කැලණියේ අමල් රුද්‍රිගු කියලා ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහු අවුරුදු 3 කට පෙර සුදු වෑන් රථයකින් පිටකෝට්ටේදී පැහැරගෙන තිබුණා. පස්සේ මට ටික වේලාවකින් එය ආරංචිය ආවට පස්සේ මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් කතා කළා. සර්, මගේ ළඟම ඉන්න මිනිහෙක් සුදු වෑන් එකකින් පැහැරගෙන ගිහින් තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මගෙන් පළිගන්න කරපු වැඩක්,
මේ මිනිහා මට බේරලා දෙන්න, මේක මා ළඟ සිටින මිනිස්සු ඉවත් කිරීමට ගෝඨාභය කරන වැඩක්, මෙම ප්ලෑන් එකේ බැසිල් රාජපක්ෂ ඉන්නවා. ඔහු කුහකකමින් සිටියේ. ඒකට මගෙන් මිනිස්සු ඈත්කරන්න කරපු වැඩක් බවට මා ජනාධිපතිතුමාට දැන්වූවා. ජනාධිපතිතුමා මට කිව්වා මේක අපේ වැඩක් වෙන්න බෑ. කොහොම හරි මම මේකට මර්වින්ට උදව් කරන්නම් කියලා කිව්වා. දින 9 කට පසුව අමල් රුද්‍රිගුව අතරමග දමා ගොස් තිබුණා. තැන මට මතක නැහැ. ඉන්පසුව ජනාධිපතිතුමා මට කෝල් කරලා කිව්වා මර්වින් ඔන්න මිනිහා එව්වා කියලා. එහිදී මම ජනාධිපතිතුමාට කිව්වා සර් ඔබතුමා දරු පවුලක් බේරුවා, බොහොම පිං කියලා.
ඉන්පසුව අමල් මාව හම්බවෙන්න මගේ නුගේගොඩ ගෙදරට ආවා.
මට ඒවා මතක නැහැ. එයාට පහර දුන්න බවකුත් කීවා. එයාව අරන් ගිය කට්ටිය හමුදාවේ කට්ටියක් බවත් මට කිව්වා. තවද පානදුර පදිංචි ඩොනල්ඞ් පෙරේරා යන අය ද අමල් රුද්‍රිගු පැහැර ගැනීමෙන් මාස 6 කට පසුව සුදු වෑන් රථයකින් ගාලූ පාරේදී පැහැරගෙන ගොස් තිබුණා. එයාත් මාගේ දේශපාලන වැඩවලට ගොඩාක් උදව් කරන කෙනෙක්, ඔහු සුදු වෑන් රථයෙන් ඉස්සූ විට මම පොළොන්නරුවේ හිටියේ. මා එහි සිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් කතා කළා. ”සර් මගේ යාළුවෙක් සුදු වෑන් එකකින් උස්සලා තියෙනවා. එයා පානදුර කෙනෙක්. එයාවත් බේරල දෙන්න කිව්වා, මම ඊට අමතරව මේ වැඬේ නවත්වලා දෙන්න නැත්නම් මට දේශපාලනයෙන් අයින් වෙන්න වෙනවා සර්, මේ වැඬේ කරලා තියෙන්නේ ගෝඨාභය බව කිව්වා.
හිටපු ජනපති මට ඒ ගැන බලන්නම් කිව්වා, ඊට දින 4 කින් පසුව ඔහුවත් එවා තිබුණා. නැවතත් ජනාධිපතිතුමා දුරකථනයෙන් කතා කර කිව්වා මර්වින් අර ඔයාගේ මිනිහා නිදහස් කරලා තියෙනවා. එහිදී මම ජනාධිපතිතුමාට ස්තූති කළා. පසුව ඩොනල් පෙරේරා මා හමුවන්න මිරිහාන නිවසට ආවා. ඔහුව පැහැරගෙන ගියේ හමුදාවේ කට්ටියක් බවට ඔහු පැවසුවා. ඇස් බැඳගෙන රැගෙන ගිය බවත්, මාගෙන් අයින් නොවුණොත් පණ පිටින් ඉන්න වෙන්නෙ නැහැ කියලා ඔහුට පහරදීම් කරලා තිබුණා. එමෙන්ම කැලණිය දළුපිටිය පදිංචි මාගේ දේශපාලන කටයුතුවලට බොහොම උදව් කළ තිලකසිරි නොහොත් තිලක් දැනට අවුරුදු 2 ක පමණ පෙරදී, මැකලම් පාරේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණා. ඊට ද මම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කතා කලා. මම ඒ ගැන
බලන්නම් කියූ ජනාධිපතිවරයා ගෝඨාභයට කතා කරන්න කිව්වා, මම දුරකථනයෙන් ගෝඨාභයට කතා කළා. එහිදී ඔහු වහාම මේ ගැන හොයලා බලන්නම් කිව්වා. ඉන් දින 4 කට පසු පෙර ආකාරයටම වෑන් රථයකින් තිලකසිරිව දාලා ගිහින් තිබුණා. මම නැවත ජනාධිපතිතුමාට කතා කර මුදාහැරි බව කිව්වද මතක නැහැ. ඊට හේතුව තමයි මේ වගේ සිද්ධි ගොඩාක් වෙලා මම කතා කරලා තියෙනවා.
ප‍්‍රශ්නය - ඔබ කියන ඔය සුදු වෑන් සංස්කෘතියක් තිබුණේ කොහේද? මේකේ හිටපු අනිත් තැනැත්තන් පිළිබඳව ඔබගේ දැනීමක් තියෙනවාද?
පිළිතුර - ගෝඨාභය පක්ෂපාති කණ්ඩායමක් තමයි හිටියේ. ඒ කට්ටිය ආමි එකේ. ගෝඨාභය විසින් හමුදාවෙන් තෝරාගත් පිරිසක් තමයි මේකට යොදවලා තිබුණේ. මට ඒ අයගේ නම් මතක නැහැ. දැක්කොත් කියන්න පුළුවන්. ඒ නම් කවුරු හෝ මතක් කිරීමක් කළහොත් මම කියන්නම්. තවත් කරුණක් තමයි ඒ සුදු වෑන්වලට සම්බන්ධ කෙනෙක් ආරක්ෂක අමාත්‍යංශයේ ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලයේ සිටියදී දිනකදී මට හමුවුණා. ඔහුගේ නම මට මතක නැහැ.
ප‍්‍රශ්නය - 2008 වර්ෂයේ මැද භාගයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔබට පැවසූ බව කියන ”ලසන්ත ඕන ඒවත් ලියනවා. එපා ඒවත් ලියනවා” ඔබට පැවසුවේ කොහේදීද?
පිළිතුර - ගෝඨාභය ඔය කතාව මට කිව්වේ අරලියගහ මන්දිරයේදී. එහෙම කියලා මට කිව්වා ලසන්ත සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා කියලා. මම කිව්වා මේක සාකච්ඡා කරලා විසඳන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමාගේ යාළුවෙක්නේ කියලා මම කිව්වා. ඒ යකාත් එක්ක මොන සාකච්ඡා ද මර්වින් යැයි ඔහු පැවසුවා. අපි දෙන්නා විතරයි එතැන හිටියේ. වෙන කවුරුත් හිටියේ නැහැ.
Comments
Post a Comment
Your comment will be visible after approval