hollywood-actor-dies-a-week-after-his-wifes-death-autopsy-confirms

පසුගියදා ආන්දෝලනාත්මක ලෙස  අනාවරණය වූ ඔස්කාර් සම්මානලාභී නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිය නිවස තුළ මියගොස් තිබියදී හමුවීම අභිරහස් සිදුවීමක් ලෙස මාධ්‍ය තුළ කථාබහට ලක්වූ අතර ඒ ගැන පසුගිය දිනවල කෙරුණ
 විද්‍යාත්මක මරණ පරීක්ෂණයකින් පසු එහි ප්‍රතිඵලය ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව මේ දෙන්නා මියයන්නේ වෙන් වෙන් වශයෙන් වෙනම දිනවල වෙනම හේතු අනුව බව තහවුරුවී ඇත.
සැන්ටා ෆේ හි සිය නිවසේදී ඔස්කාර් සම්මානලාභී නළු ජීන් හැක්මන් වයස අවුරුදු 95දී ස්වාභාවික හේතූන් නිසා මිය ගොස් ඇති අතර ඔහුගේ මරණයට හෘද ධමනි රෝගය හේතු වූ බවත් උග්‍ර අල්සයිමර් රෝගයද එයට දායක වී ඇති බවත් වාර්තාවේ දැක්වේ. හැක්මන්ගේ බිරිඳ වන වයස 65ක් වූ බෙට්සි අරකාවා,
ඊට සතියකට පමණ පෙර හැන්ටාවයිරස් පෙනහළු සින්ඩ්‍රෝමය හෙවත් ආසාදිත මීයන් නිසා ඇතිවන බරපතල ශ්වසන රෝගී තත්ත්වයකින් මිය ගොස් ඇති බවද හෙලිව ඇත.

බලධාරීන්ගේ ප්‍රකාශ අනුව, බිරිය අරකාවා පෙබරවාරි 11 වන දින පමණ මිය ගොස් ඇති අතර, හැක්මන් පෙබරවාරි 18 වන දින මිය ගොස් ඇත. හැක්මන්ගේ අල්සයිමර් රෝගී තත්ත්වය හේතුවෙන්, ඔහු සිය බිරිඳගේ මරණය ගැන නොදැන සිටීමේ හැකියාව තිබෙන්නට ඇතැයිද ඔහුට කන්න බොන්න දීමට කෙනෙකු නැතිව යන්නට ඇතැයිද අනුමාන කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු හෘද රෝග සහ නිදන්ගත උච්ච රුධිර පීඩනය හේතුවෙන් පිරිහී තිබූ අතර, මිය යාමට පෙර අවසන් කාලයේ ආහාර ගෙන නොතිබූ බවද හෙළි විය.

විමර්ශනවලින් හෙළි වූයේ ඔවුන් වාසය කළ ස්ථානය තුළ මීයන්ගේ ක්‍රියාකාරකම් සලකුණු තිබුණ බවයි.
අසල්වැසියන් කළ පැමිණිල්ලක් අනුව ආරක්ෂක අංශ විසින් කළ පරීක්ෂාවකින් පසු මියගිය යුවළ සොයාගෙන තිබූ අතර, ඔවුන්ගේ මෘත දේහ හමුවන විට දිරාපත් වූ තත්ත්වයක පැවතිණි. මෘත දේහ දෙකම නිවස තුළ සොයාගෙන තිබූ අතර, බලහත්කාරයෙන් ඇතුළු වීමේ හෝ අපරාධ ක්‍රියාවල සලකුණු කිසිවක් නොතිබිණි. කාබන් මොනොක්සයිඩ් විෂ වීම සඳහා කරන ලද මූලික පරීක්ෂණද සෘණාත්මක විය.

හැක්මන් ඔහුගේ විශිෂ්ට රංගන දිවිය සඳහා ප්‍රසිද්ධය. "ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්" සහ "අන්ෆොගිවන්" චිත්‍රපටවල ඔහුගේ චරිත සඳහා ඔස්කාර් සම්මාන දෙකක් දිනා ඇත. ඔහු අරකාවා සමඟ වසර 30කට වැඩි කාලයක් විවාහව සිටි අතර,
1980 දශකයේදී ඇය ව්‍යායාමශාලාවක සේවය කරන අතරතුර හමු වී ඇත. හැක්මන්ට පෙර විවාහයකින් වැඩිහිටි දරුවන් තිදෙනෙකු සිටි අතර, ඔහුගේ අවසන් චිත්‍රපට චරිතය වූයේ 2004 වසරේදී වන අතර, ඉන්පසු නිව් මෙක්සිකෝහි සාමකාමී ජීවිතයක් ගත කර ඇත.

අල්සයිමර් රෝගය නිසා ඔහුගේ මානසික තත්ත්වය පිරිහීමට ලක්ව තිබූ අතර, සිය බිරිඳගේ අකල් මරණය ගැන ඔහු දැන නොසිටි බව බලධාරීන් සැක කරති. තවද, දෙදෙනාගේම මරණයට හේතු වූයේ වෙන වෙනම ආබාධ බව තහවුරු වී ඇත. දෙදෙනාම මිය ගොස් සතියකට වඩා වැඩි කාලයක් ගත වීමෙන් පසු හමු විය.