deshabandhu-tennakoon-surrenders

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (මාර්තු 19) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියි.
ඔහු මේ දක්වා අතුරුදන්ව සිටි නමුත් අත්අඩංගුවට පත්වීම වැළැක්වීමේ ඉල්ලීම ඉවතලූ අධිකරණ නියෝගයෙන් පසු භාරවීමට තීරණය කර ඇත.


මෙම නඩුව පෙරවරුවේ කැඳවීමට නියමිතව තිබිණි.

මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි "W15" හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් අටදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 28 වැනි දින නියෝගයක් නිකුත් කර තිබිණි.
මෙම අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය මාර්තු 10 වැනි දින තම නීතිඥවරුන් මගින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, එම රිට් පෙත්සම පසුගිය සඳුදා (මාර්තු 17) වන දින විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියනු ලබන අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ නිවසක් ඊයේ (මාර්තු 18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී විදේශීය විස්කි බෝතල් තොගයක් සහ තෙන්නකෝන් මහතාගේ නිල ගිනි අවියක්ද සොයාගෙන ඇති බව වාර්තා විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතී.