
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා ගල්නෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී මෙම කරුණ අනාවරණය කළේය.
සැකකරු හමුදාවෙන් පළා ගිය පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, අද උදෑසන ගල්නෑව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සැකකරු නීතිය ඉදිරියට පමුණුවා කටයුතු කිරීම සඳහා සියලු විධිවිධාන සකස් කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටින අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබේ.
සිද්ධියට අදාළව වාර්තා වන්නේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණුව ලබන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී අතවරයට ලක් කර ඇති බවයි. මෙම සිද්ධිය මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයෙන් සුදුසු පියවර ගන්නා තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව සෞඛ්‍ය සේවක සංගම් ප්‍රකාශ කර සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval