
කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත නවරත්න මහතා අද (මාර්තු 1) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයකදී රට තුළ කිසිදු තෙල් හිඟයක් නොමැති බව අවධාරණය කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, රටේ කෘතිම ඉන්ධන හිඟයක් ඇති කර රජය අස්ථාවර කිරීමේ අරමුණින් කුඩා කණ්ඩායමක් විසින් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ ඉන්ධන ඇණවුම් කිරීම විශාල ලෙස අඩු වී ඇති බවත්, QR කේතය භාවිතා කරන අවස්ථාවට වඩා තුනෙන් අඩකටත් වැඩි අඩුවක් පසුගිය 27 වැනිදා වාර්තා වූ බවත්ය.
"ඊයේ පැවති රැස්වීමට බෙදුම්කරුවන් සියලු දෙනා පැමිණ සිටියා. ඔවුන් එක හෙළා ඒකමතික තීරණයකට පැමිණියා. කරුණාකර මේ අය සමඟ සාකච්ඡා කර යම් තීන්දුවකට එන්න. ඒ අය නැවත වරක් රිට් ආඥාවකට යාමට සූදානම් වෙනවා. මේක නතර වන්නේ උසාවියේදී," යනුවෙන් ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.
මේ අවස්ථාවේ නැගී සිටි ආචාර්ය අනිල් ජයන්ත නවරත්න මෙසේ ප්‍රකාශ කළේය:
"කිසිදු තෙල් හිඟයක් නැහැ. තෙල් හිඟයක් ඇති වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. පෝලිම් තියෙනවා, නමුත් ඒවා නිර්මාණය කරගත් පෝලිම් ටිකක් පමණයි."
"බෙදුම්කරුවන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කරනවා. ඔවුන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා. වෘත්තීය සමිතියක් සමාජ මාධ්‍යවලට බෙදා හැරි ප්‍රවෘත්තියක් නිසා තමයි මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. තෙල් සංස්ථාවත් බෙදුම්කරුවනුත් වෙන වෙනම ගනුදෙනු කරනවා. වෘත්තීය සමිතියක් සමඟ ගනුදෙනු කරන්නේ නැහැ. 'අපි මේවා ඇණවුම් කරන්නේ නැහැ' කියලා පොඩි කණ්ඩායමක් පිටතට ගොස් කියනවා. නමුත් එහෙම නැහැ. ඉන්ධන ඇණවුම් කරනවා. බෙදා හරිනවා. අපි සාකච්ඡාවට සූදානම්. අපි සාකච්ඡා කරමින් ඉන්නවා. තොරතුරු බෙදා ගන්නවා."
අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේ, "නව මිල සූත්‍රය ගණනය කිරීම තාක්ෂණික කරුණු මත පමණක් පදනම් වූවක් නොවේ. මේ ගැටලුවට විසඳුම් සෙවීමේදී වඩා දිගු කාලයක් පුරා CPC (Ceylon Petroleum Corporation) සමඟ වැඩ කිරීමෙන් පසුව, අපි වේගයෙන් තොරතුරු හුවමාරු කළා. ඔවුන් කොපමණ ලෝඩ් ප්‍රමාණයක් ගන්නවාද, විකුණනවාද, පිරිවැය කොපමණද වැනි තොරතුරු මත පදනම්ව, කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන ලෙස, සාධාරණ ලාභ ප්‍රතිශතයකට වඩා වැඩි ප්‍රතිශතයක් පිරිවැය මත ලැබෙන ආකාරයට බෙදුම්කරුවන් උදෙසා මේ දීමනාව සකස් කර තිබෙනවා. මම හිතනවා ඒ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට මෙය ඉතා සාධාරණයි."
"මේ තත්ත්වය පදනම් කරගෙන වෙළඳපොළේ අනවශ්‍ය තත්ත්වයක් ඇති කර, යම් හිඟයක් ඇති කිරීමට උත්සාහ කරනවා නම්, මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්. කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්. මෙය පිටුපස දේශපාලන බලවේගයක් තිබීමට පුළුවන්. අපි කවුරුත් දන්නවා, මේ රජය රට ඉදිරියට ගෙන යන විට විවිධ උපක්‍රම භාවිතා කරමින් මේ රජයේ ගමන ආපස්සට හැරවීමට උත්සාහ කරන බව."
"එවැනි දේවල් අපි අනිවාර්යයෙන්ම වළක්වනවා. දයාසිරි මන්ත්‍රීතුමා උසාවිය ගැන කතාවක් මතු කළා. ඇත්තටම 28 වැනිදා මේ පිරිස උසාවියට කරුණු ඉදිරිපත් කර නැහැ. පැහැදිලිවම පෙනෙනවා, කරුණු ඉදිරිපත් කිරීමක් කරනවා නම් කරන්න තිබුණා. මොකද, මේ අයට මෙය සාධාරණීකරණය කිරීමට කිසිම තොරතුරක් නැති නිසා."
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, සාමාන්‍යයෙන් ඇණවුම් 1,100ක් සහ 1,200ක් අතර ප්‍රමාණයක් ලැබෙන බවත්, මෑත දින කිහිපය තුළ ඊටත් වඩා වැඩි ඇණවුම් ප්‍රමාණයක් සිදු කර ඇති බවත්ය.
"සාමාන්‍යයෙන් ඇණවුම් 1,100ක් 1,200ක් අතර ප්‍රමාණයක් එනවා. මේ කියන දවස් දෙක තුනේ ඊටත් වඩා ඇණවුම් කරලා තියෙනවා. හැබැයි ඇණවුම් කළාට සමහර තෝරාගත් බෙදුම්කරුවන් ප්‍රමාණයක් ඒකපාර්ශ්වීය තීන්දුවක් ගෙන තිබෙනවා ඉන්ධන බෙදා නොහරින බවට. හැබැයි ඒක නිල වශයෙන් දැනුම් දී නැහැ. සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ව නොමඟ යැවීමක් තමයි සිදු වෙමින් තිබෙන්නේ. අපට පෙනෙන්නේ හිතාමතාම සුළු කණ්ඩායමක් විසින් මේ මොහොතේ රට තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා, පෝලිම් යුගයක් එනවා කියලා කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි."
එසේම, ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහාය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) ප්‍රකාශ කළේ තමන් අද (01) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණය හේතුවෙන් රට තුළ කිසි ලෙසකින් ඉන්ධන අර්බුදයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා නව මිල සූත්‍රය පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ:
"පළවෙනි ලෝඩ් 15ට 6.96%ක් දෙනවා. ඊළඟ ලෝඩ් 15ට 6.62%යි. දැන් බෙදුම්කරුවන් කියන්නේ ලෝඩ් 25ක් පමණ කරන අය ලු වැඩිපුර ඉන්නේ. ඒ අයට දැනටත් ආදායම ලැබෙන්නේ ලක්ෂ 10ක් පමණ ලු. එයින් වැටුප් ගෙවූ පසු දැනටත් ජීවත්වීමට නොහැකි බව ඔවුන් කියනවා."
"අපි හඳුන්වාදෙන නව සූත්‍රය අනුව, ලෝඩ් 25ක් කරන කෙනෙකුට 6.69%ක් ලැබෙනවා. එතකොට රුපියල් එකොළොස් ලක්ෂ 3,850ක් ලැබෙනවා."
මේ අතර, පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයේදී නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත නවරත්න මහතා අවධාරණය කළේ, රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, දේශපාලන අරමුණු මත කුඩා කණ්ඩායමක් විසින් කෘතිම හිඟයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත්ය. එම තත්ත්වය වළක්වා ගැනීමට රජය සූදානම් බවත්, තෙල් බෙදුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් වඩාත් සාධාරණ විසඳුමකට එළඹීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval