
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නමැති කාන්තාවට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර ඇත. අධිකරණ නියෝගය අනුව, ඇය රුපියල් ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප තුනක් මත මුදාහැර තිබේ.
මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (මාර්තු 05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක (ආච්චිගේ නංගී) වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට රුපියල් මිලියන 5 (ලක්ෂ 50) බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප නියම කර ඇත්තේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණේ, 2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් හා දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා යෝෂිත රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනුනු අතර, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට ද ඇප නියම කර තිබිණි.
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර ඇත.
එම විමර්ශන අනුව අදාළ මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර, එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇත.
පෙබරවාරි මස 11 වැනිදා යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.
ඒ අනුව අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බවත් පොලිසිය පවසා ඇත.
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය අද (මාර්තු 05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර, ඇය ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා විය. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 97ක් වන, යම් යම් අසනීප තත්වයන්ගෙන් පෙළෙන ඩේසි ෆොරස්ට් මහත්මියට අද උදෑසන 09.00 සිට ආහාර ලබාගැනීමට අවස්ථාව ලබාදී නොමැති බවත්, ඇයව රැක බලාගන්නා හෙදියට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වීමට අවස්ථාව ලබාදී නොමැති බවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් චෝදනා කරති.
එමෙන්ම ඇයට ඇගේ රෝද පුටුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට ද ඉඩදී නොමැති බව ද ඔවුන් සඳහන් කරයි.
ඒ අනුව, ඩේසි ආච්චිගේ ජීවිතයට අවදානමක් පවතින බව පවසමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිසම ඇතුළු අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval