
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇතත්, මේ දක්වා කිසිදු ගොවියෙකු වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට වී ලබා දී නොමැති බව වී ගබඩා පාලකයන් විසින් වාර්තා කරනු ලැබේ. ගොවීන් බොහෝදෙනෙකු තම අස්වැන්න ගොවිබිමේදීම පෞද්ගලික වී වෙළඳුන්ට පහළ මිලකට විකුණන බව දැනගන්නට ලැබී තිබේ.
ලංකාපුර, දිඹුලාගල සහ වැලිකන්ද ඇතුළු ප්‍රදේශ රැසක වී අස්වනු නෙළීම දැනටමත් ආරම්භ වී ඇත. රජය විසින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් ප්‍රකාශයට පත් කර ඇතත්, ගොවීන් මේ වනවිට තම අස්වැන්න රජයේ ගබඩාවලට ලබා දීමට පෙළඹී නොමැත.
රජයේ වී ගබඩා වෙත වී භාර දීමේදී සිදු කරන තෙතමන පරීක්ෂණය (14% තෙතමන මට්ටම), අස්වනු වේළීමට වැය වන අමතර ශ්‍රම වියදම් සහ වෙනත් විවිධ අපහසුතා හේතුවෙන් ගොවීන් කුඹුරු අස්වද්දා අවසන් වූ විගසම ගොවිබිම තුළදීම පෞද්ගලික වී මුදලාලිලාට රුපියල් 105 සිට 115 දක්වා වූ මිලකට සිය අස්වැන්න විකිණීමට පෙළඹී ඇති බව වාර්තා වේ.
ප්‍රදේශයේ ගොවියෙකු අප සමඟ පැවසුවේ, "මේ තියෙන වැස්සේ වී වේළන්නත් බෑ, වේළන්න ගියත් කුලියට ගන්න පුද්ගලයාට දවසේ වැටුප, කන්න දෙන්න යන වියදම කියන ඔක්කොම බැලුවම ලොරිවලට 115ට වී දෙන ඒක වාසියි. තෙතමනයක් බලන්නෙත් නෑ උර දෙන්න ඕනෙත් නෑ. කුඹුරටම ඇවිත් වී ටික පටවාගෙන සල්ලිත් එවෙලෙම දීලයි යන්නේ. ඒක බොහොම වාසියි. කෑමට තියා ගන්න ටික විතරයි අපිට වේළගන්න තියෙන්නේ," යනුවෙනි.
පාරිභෝගිකයන් චෝදනා කරන්නේ, කූට වෙළෙන්දන් අහිංසක ගොවි ජනතාවගේ අස්වනු රජය සහතික කළ මිලට වඩා අඩු මිලකට ගොවිබිම් වෙතම ගොස් මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි. මෙම මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගිය කාලවල සහල් පාලන මිල ඉක්මවා අලෙවි කිරීමටත්, පසුව රට පුරා සහල් හිඟයක් මවා පෑමටත් කටයුතු කර ඇති බව පාරිභෝගිකයන්ගේ චෝදනාවයි.
පාරිභෝගිකයන් තවදුරටත් සඳහන් කරන්නේ, මෙම මාස් කන්නයේදීද අහිංසක ගොවි ජනතාව මුළා කරමින් මොවුන් ගොවි බිම් වෙතම පැමිණ වී අස්වනු ලබා ගනිමින් ඉදිරියේදීද සහල් පාරිභෝගිකයන්ට එරෙහි වීමට ඉඩ ඇති බවයි.
රජය පසුගිය පෙබරවාරි මස 08 වැනි දින සිට පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා වී ගබඩා සංකීර්ණ 24ක් විවෘත කර ඇත.
එදින සිට මේ දක්වා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සෑම ගබඩා ස්ථානයකම රැඳී සිටිනුයේ ගොවීන් තම වී අස්වැන්න ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙනි.
කෙසේ වෙතත්, වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ඒ.ජී. නිමල් ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ වන තෙක් කිසිදු වී ගබඩාවක් වෙත වී ඇටයක්වත් ලැබී නොමැති බවයි.
මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත්, රජය විසින් ප්‍රකාශිත සහතික මිල ගොවීන්ට ලැබීමට ඇති ඉඩකඩ අවම වන අතර, ඉදිරියේදී නැවතත් සහල් මිල අස්ථාවර වීමේ අවදානමක්ද මතුව තිබේ. පෞද්ගලික වෙළෙන්දන් අඩු මිලට මිලදී ගත් වී ඉහළ මිලකට සහල් බවට පත් කර අලෙවි කිරීමේ ප්‍රවණතාවයක් පසුගිය කාලවලදී දක්නට ලැබුණි.
ගොවීන් සඳහා තම අස්වැන්න වේළා රජයේ ගබඩාවලට ලබා දීමට ප්‍රායෝගික යාන්ත්‍රණයක් සැකසීම මෙන්ම, පෞද්ගලික වෙළෙන්දන්ගේ අසාධාරණ මිල තීරණය කිරීම් හා ගබඩා කිරීම් වැළැක්වීමට වඩාත් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව පාරිභෝගික සංවිධාන පෙන්වා දෙයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය ජාතික වී නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් වන හෙයින්, මෙම ප්‍රවණතාවය සමස්ත රටේම සහල් සැපයුම සහ මිල කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති.
සමහර ගොවීන් සඳහන් කරන්නේ, වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට වී ලබා දීමේදී මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු රැසක් ඇති බවයි. තෙතමන මට්ටම 14%ට අඩු කිරීම සඳහා වී වේළීම, ගුණාත්මක බව රැක ගැනීම, ප්‍රවාහන ගැටලු සහ ගෙවීම් ප්‍රමාද වීම වැනි කරුණු ඔවුන් අවධාරණය කරති.
පෞද්ගලික අංශය සපයන පහසුකම් - ගොවිබිමට පැමිණ වී මිලදී ගැනීම, ගුණාත්මක බව පිළිබඳ ලිහිල් ප්‍රමිතීන් සහ වහාම මුදල් ලබා දීම - ගොවීන්ට වඩාත් ආකර්ශණීය විකල්පයක් වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval