A revelation about the 250 million rupees gem bag that disappeared before the presidential election

මෙරටට ඉකුත් වසර තුනක කාලය තුළ (2022-2024) ආනයනය කරන ලද මැණික් ගල් කිලෝග්‍රෑම් 46,815 කින් අගය එකතු කර ප්‍රතිඅපනයනය කර ඇත්තේ කිලෝග්‍රෑම් 1,664 ක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) පෙරේදා (05) හෙළිදරව් විය. මෙය ආනයනය කරන ලද සමස්ත මැණික් ප්‍රමාණයෙන් 3.5% ක ප්‍රතිශතයක් පමණි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අතර, එහිදී මෙම තොරතුරු අනාවරණය විය. වසර අනුව ආනයනය සහ ප්‍රතිඅපනයනය කරන ලද මැණික් ප්‍රමාණයන් පිළිබඳව විස්තරාත්මක දත්ත ඉදිරිපත් කරන ලදි.

දත්ත අනුව, 2022 වසරේදී මැණික් කිලෝග්‍රෑම් 9,924 ක් ආනයනය කර ඇති අතර, එම වසරේදීම ප්‍රතිඅපනයනය කර ඇත්තේ කිලෝග්‍රෑම් 653 ක් පමණි. 2023 වසරේදී කිලෝග්‍රෑම් 11,169 ක් ආනයනය කර ඇති අතර, ප්‍රතිඅපනයනය කර ඇත්තේ කිලෝග්‍රෑම් 555 ක් පමණි. 2024 වසරේදී ආනයනය කිරීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් මැණික් කිලෝග්‍රෑම් 25,722 ක් ආනයනය කර ඇතත්, ප්‍රතිඅපනයනය කර ඇත්තේ කිලෝග්‍රෑම් 455 ක් පමණක් බව අනාවරණය විය.

කෝප් කමිටුවේදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණක් වූයේ මෙලෙස ආනයනය කරන ලද විශාල මැණික් තොග පිළිබඳව පැන නැගුනු ගැටලුවයි.
ආනයනය කරන ලද මැණික් ගල් රටේ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා භාවිත කළද, නැතහොත් ඒවා නීතිවිරෝධී ආකාරයෙන් රටින් පිටවූවාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොමැති බව කමිටුවේදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, මෙලෙස ආනයනය කරන මැණික් සම්බන්ධව නිසි තොරතුරු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවා ලැබී නොමැති බවයි. මෙලෙස විදේශ රටවලින් විශාල වශයෙන් මැණික් ආනයනය කර, ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට සහජ මැණික් ගල්වලට තිබෙන ඉල්ලුම අඩුවන බවද කෝප් කමිටුවේදී අවධාරණය කෙරිණි.

කෝප් කමිටුවේදී තවත් සංවේදී කරුණක් හෙළිදරව් විය. එනම්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයේ තිබූ රුපියල් කෝටි 25 ක වටිනාකමින් යුත් මැණික් මල්ලක් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව රුපියල් 10,000 ක සමථ ගාස්තුවක් මත නිදහස් කර ඇති බවයි.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රාජසන්තක කර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බාරයට ලබාදුන් මෙම මැණික් මල්ල 2025 වසරේ සැප්තැම්බර් මස 25 වැනිදා, අධිකාරියේ එවකට අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් නොමැතිව මුදාහැර ඇති බවද හෙළිදරව් විය.

කෝප් කමිටුවේදී තවදුරටත් අනාවරණය වූයේ, මෙම මැණික් ගල් ද්විත්ව යතුරු සහිත සේප්පුවක ආරක්ෂිතව රඳවා තිබුණද, එහි මැණික් ගල් අඩුවී තිබෙන බවයි. නිසි පරිදි බදු නොගෙවීම නිසා 2024 වසරේදී අධිකරණ නියෝගයක් මත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත්කළ මෙම කෝටි 25ක වටිනාකමකින් යුත් මැණික් මල්ල අවසරයකින් තොරව මුදාහැර ඇති බව තහවුරු විය.

පසුගිය දිනවල රැස්වූ කෝප් කමිටු රැස්වීමේදී කෝප් කමිටු සාමාජික මන්ත්‍රිවරුන් වන අසිත නිරෝෂන, ධර්මප්‍රිය විජේසිංහ, චන්දිම හෙට්ටිආරච්චි යන මන්ත්‍රිවරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ව දැඩිව ප්‍රශ්න කර ඇත.


මෙහිදී හෙළිදරව් වූ තවත් සැලකිය යුතු කරුණක් නම්, එවකට ආදාළ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන චාමර සම්පත් දසනායක පත්කළ සභාපතිවරයකු මෙම මැණික් තොගය නිදහස් කර ඇති බවයි. විශේෂයෙන් සඳහන් කරන ලද්දේ, මෙම මැණික් තොගය පසුගිය ජනාධිපතිවරණයට පෙර දින නිදහස් කර ඇති බවත්, එවකට විෂය භාර කැබිනට් ඇමැති ලෙස රමේෂ් පතිරණ කටයුතු කර ඇති බවත්ය.

කෝප් කමිටු සභාපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසුවාද යන්න පිළිබඳව නිලධාරීන්ගෙන් විමසීය. මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ මැණික් මල්ල මුදාහැරීමෙන් පසු නීතිපතිවරයා දැනුවත් කළ බවයි.

මෙම ප්‍රකාශය ඇසූ කෝප් කමිටු සාමාජික මන්ත්‍රිවරුන්, 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පනත පරිදි කටයුතු කිරීම පිළිබඳ දැඩි ගැටලුවක් ඇති වන බව පෙන්වා දී තිබේ.

මෙම සියලු කරුණු සලකා බැලීමේදී, මෙරටට ඉකුත් වසර තුනක කාලය තුළ විශාල ප්‍රමාණයක මැණික් ආනයනය කරන නමුත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීම ජාතික ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව පැහැදිලි වේ.

විශේෂයෙන්, ශ්‍රී ලංකාව මැණික් සඳහා ලෝක වශයෙන් ප්‍රසිද්ධියක් දරන රටක් වන අතර, මෙරට සහජ මැණික් ගල්වල වටිනාකම සහ ඉල්ලුම රැකගැනීම ඉතා වැදගත් කරුණකි.
කෙසේ වෙතත්, මෙලෙස ආනයනික මැණික් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම නිසා දේශීය මැණික් කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති විය හැකි බව පැහැදිලිය.

තවද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිසි අධීක්ෂණයකින් තොරව මෙම ආනයනයන් සිදු වීම සහ රාජසන්තක කරන ලද මැණික් තොග නිසි අනුමැතියකින් තොරව නිදහස් කිරීම වැනි ක්‍රියාවන් නිසා රජයට ලැබිය යුතු ආදායම් අහිමි වන බවද පෙනී යයි.

කෝප් කමිටුව මෙම ගැටලුව පිළිබඳව ගැඹුරින් සොයා බලා, නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇත. මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීම සහ විනිවිදභාවයෙන් යුතුව එය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව මෙම සිද්ධිය තුළින් පෙන්වා දෙයි.