
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ඊයේ (11) දින නිවේදනය කරන ලද්දේ, බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම්වල පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන්නේද, නැතහොත් එම තහනම ඉවත් කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන 17 වැනි දින ප්‍රකාශයට පත් කරන බවයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී සිටින බව පෙන්වා දෙමින්, ගිණුම් තහනම ඉවත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම තීරණය ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉල්ලීම මත අධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුගේ නමින් විවිධ බැංකුවල පවත්වාගෙන යන ගිණුම් සහ රුපියල් කෝටි 9 1/2 කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් මෙන්ම ජීවිත රක්ෂණ ඔප්පු ද තහනමකට ලක් කර තිබේ.
විශේෂයෙන් මෙම බැංකු ගිණුම් තහනමට ලක් කර ඇති පුද්ගලයින් අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා විහේන මහත්මිය, දියණියන් වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රානි පමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල, සහ ඉසුරු පුලස්ති බණ්ඩාර දෙහිදෙණිය යන අයගේ නම්වලින් ඇති බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ද ඇතුළත්ය.
මෙම නඩුව අධිකරණයේ විභාග කරන අවස්ථාවේදී විනිසුරුවරයාගේ නියෝගය පරිදි, නීතිඥයින් සහ නීති සිසුන් හැර අනෙකුත් සියලුම පුද්ගලයින් අධිකරණ ශාලාවෙන් ඉවත් කරන ලදී. අධිකරණයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් කරුණු දක්වා සිටියේ, මෙම බැංකු ගිණුම් තහනම් කිරීම නිසා ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී සිටින බැවින්, එම තහනම ඉවත් කර දෙන ලෙසයි. කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ, නීතිඥ තුසිතා ජයනෙත්ති මහත්මිය එම ඉල්ලීමට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval