update-thoraya-bus-accident-conductor-also-dead-fugitive-driver-arrested-morning-video-report

කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ අද (10) අලුයම 4.45 ට පමණ සිදු වූ බස් රථ දෙකක ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මරණයට පත්ව විස්සකට අධික පිරිසක් තුවාල ලබා තිබෙන අතර අනතුර සිදු කළ බව කියන බස් රථයේ රියදුරු පලා ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරවරු 4.45ට පමණ සිදු වූ මෙම අනතුරෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මරණයට පත්ව ඇති අතර, මියගියවුන් අතර අනතුර සිදු කළ බස් රථයේ කොන්දොස්තරවරයා ද සිටින බව පොලිසිය තහවුරු කර ඇත.



දොරටියාව පොලිස් ස්ථානාධිපති ප්‍රකාශ කළ පරිදි, අනතුරට ලක් වූ බස් රථ දෙකෙන් එකක් මාදුරුඔය සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටි අතර, අනෙක් බස් රථය කඳුරුවෙල සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටියේය. කඳුරුවෙල සිට පැමිණි බස් රථය මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේ නතර කර තිබියදී, මාදුරුඔය සිට පැමිණි බස් රථය අධික වේගයෙන් පැමිණ එහි පසුපසින් ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
තුවාල ලැබූ විස්සකට අධික පිරිස කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් 4 කගේ ජීවිත බේරාගන්නට රෝහල දැඩි වෙහෙසක නිරතවේ.
අනතුරෙන් පසු පලා ගිය මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය කළ බස් රථයේ රියදුරු දොරටියාව පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගන්නා ලදි. මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
අනතුර සිදුවූ පසු පිරිස එක පොදියට හිරවී තිබීම නිසා තුවාලකරුවන් බේරාගත්තේ අපහසුවෙන් බව කියැවිණි.
අනතුර සිදුවූ පාන්දර ලබාගත් වීඩියෝවක් මේ සමග පළවේ.