update-main-suspect-sherifdeen-arrested-in-puttalam-lawyer-who-brought-the-pistol-is-still-at-large

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.  වාර්තාවන ආකාරයට අධිකරණ භූමියට රිවොල්වරය පොතක සගවාගෙන රැගෙන විත් ඇත්තේ මෙම පුද්ගලයා නොව ඔහුට සම්බන්ධිත කාන්තාවකි. දෙදෙනාම නීතීඥ වෙසින් පැමිණ ඇති අතර කාන්තාව තවම අත්අඩංගුවට ගෙන නැත.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කළ තොරතුරු අනුව, සැකකරු ඉකුත් මාසයේ 7 වන දින ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ බව තහවුරු වී ඇත.


අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සාමාජිකයෙකු බව තහවුරු වී තිබේ. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) නම් වූ මෙම සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
‍හසුවන අවස්තාවේ මොහු අධිකරණයේදී යම් පරීක්ෂාවක් වුවොත් ඒ අය රැවටීම පිණිස කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක නමැත්තෙකු නමින් නීතීඥ සංගමය නිකුත් කරන හැඳුනුම්පතක්ද සකස්කරගෙන සිටි බව හෙලි විය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ පොතක් තුළ සඟවාගෙන ගිනි අවියක් අධිකරණය තුළට රැගෙන ගිය සැකකරුගේ සහයිකාව ඔහුට පිස්තෝලය දී ඇත, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ සිටි ඔහු විසින් ප්‍රබල පාතාල නායකයෙකු වූ ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කර පලා ගිය අතර, පැය ගණනක විමර්ශනයකින් අනතුරුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

හිටපු කොමාන්ඩෝ සාමාජිකයෙකු වන සැකකරු, තම හමුදා පුහුණුව උපයෝගී කරගනිමින් මෙම සැලසුම් සහගත ඝාතනය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලින් තවදුරටත් අනාවරණය වී තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබූ අතර, ඔහු රටින් පලායාම වැළැක්වීම සඳහා ගුවන්තොටුපොළවල් ඇතුළු සියලු ආරක්ෂක අංශ දැනුවත් කර තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසූ පරිදි, සැකකරුගේ අතීත ක්‍රියාකලාපය සහ ඔහු මෙම අපරාධයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. විශේෂයෙන්ම ඔහුගේ හමුදා පසුබිම සහ පසුගිය කාලයේ ක්‍රියාකලාපය පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බව ඔහු පැවසීය.
ගණේමුල්ල සංජීව නමින් ප්‍රසිද්ධ සංජීව කුමාර සමරරත්න  අද (19) දින කොළඹ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්ගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින්  සැලසුුම් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. මෙම සිද්ධියට සම්බන්ධ කාන්තා සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවද ඇය සොයමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.



පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූ පරිදි, සැකකාරිය රටින් පලා යාම වැළැක්වීම සඳහා ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර තිබූ අතර, අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් ද යොදවා තිබේ.

සිද්ධිය සිදුවූ දිනයේ උදෑසන බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන ආ ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 12 දෙනෙකු යොදවා තිබුණි. මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම වැනි චෝදනා රැසකට ලක්ව සිටි ගණේමුල්ල සංජීව, අධිකරණ සංකීර්ණය තුළදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයට අනුව, "වෙඩික්කරු සහ රිවෝල්වරය රැගෙන පැමිණි කාන්තාව යන දෙදෙනාම හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

කෙටි කලකින් මෙම විමර්ශන අවසන් කර සියලු අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා."

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන අතර, අධිකරණ පරිශ්‍රය තුළ සිදුවූ මෙවැනි බරපතල ආරක්ෂක සිද්ධියක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.