
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානාත්මක මෙහෙයුමක් යටතේ ජාත්‍යන්තර රතු නිවේදන මත වරෙන්තු නිකුත්ව සිටි බරපතල අපරාධකරුවන් තිදෙනෙකු 2025 පෙබරවාරි 07 වන දින ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට භාරගැනීමට සමත් විය.රොටුඹ උපාලි, මහේෂ් හා චන්දන යනුවෙන් ප්‍රකට පාතාල ඝාතක කල්ලි ප්‍රධානීන් තිදෙනෙකු මෙසේ හසුවිය.
මෙම සැකකරුවන් තිදෙනා මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ සහ බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු විවිධ අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයක විමර්ශනයට ලක්ව සිටි පුද්ගලයන් වේ.
පළමු සැකකරු නාඩකන්දගේ උපාලි හෙවත් රොටුඹ උපාලි (39), පුවක්වත්ත, දෙන්කන්දලිය පදිංචිකරුවෙකි.
ඔහු 2008 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අතර, විශේෂයෙන්ම වයස අවුරුදු 15 මාස 3ක දැරියක් අපහරණය කර දූෂණය කිරීමේ බරපතල අපරාධයකටද චෝදනා ලබා සිටියි.
දෙවන සැකකරු කඳන්ගමදෙනියේ ගෙදර ප්‍රදීප් සඳරුවන් හෙවත් කොළොන්නාවේ චන්දන (40), ශ්‍රී ආනන්දාරාම මාවත, කොළොන්නාව යන ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔහු 2021 සිට 2023 දක්වා කාලය තුළ වැල්ලම්පිටිය පොලිස් වසමේ සිදු වූ මිනීමැරුම්, මිනීමැරුම් තැත් කිරීම් සහ දේපළ විනාශ කිරීම් වැනි බරපතල අපරාධ රැසකට සම්බන්ධ වී ඇත. මේ සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.
දෙවන සැකකරු වන රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා (42), පුවක්ගහවත්ත, මාකන්ද, ඌරගස්මංහන්දිය ලිපිනයේ පදිංචිකරුවෙකි.
ඔහු 2024 ජනවාරි 22 වන දින බෙලිඅත්ත-වලස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේදී සිදු කළ සාමූහික ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකි. මෙම සිද්ධියේදී ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කළ පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර, තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය සාධක බලකායක් මගින් මෙම සැකකරුවන් ඩුබායි රාජ්‍යයෙන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, ඔවුන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. මෙම මෙහෙයුම සාර්ථක වීමට ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටපෝල්) සහ ඩුබායි නීති බලධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය, අකුරැස්ස පොලීසිය සහ බෙලිඅත්ත පොලීසිය යන ස්ථාන වෙත භාර දී ඇත. එක් එක් පොලිස් ස්ථානවල විමර්ශන නිලධාරීන් විසින් අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර, සැකකරුවන් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval