ranil-2025-parliament

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ මහතා මෙවර වසර අවසානය වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නියමිත බව විශ්වසනීය දේශපාලන තොරතුරු මූලාශ්‍ර හෙළි කර සිටී.





මේ සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පළ කර ඇති බවත්, එමගින් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා මග පෑදෙනු ඇති බවත් එම මූලාශ්‍ර තවදුරටත් පවසයි.

වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ප්‍රවේශයත් සමඟම විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බව ද දේශපාලන කේෂ්ත්‍රයේ තවත් වාර්තා වලින් අනාවරණය වෙයි. මේ වන විටත් විවිධ දේශපාලන පාර්ශ්වයන් විසින් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති අතර, ඒ සඳහා විධිමත් යෝජනා ද ඉදිරිපත් කර තිබේ.

මෑතකදී ගාල්ල ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී ද ප්‍රදේශවාසීන් විසින්

පාර්ලිමේන්තුවට පැමිණ ජනතා සේවයේ නියැලෙන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි. එම අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා "පොඩ්ඩක් ඉවසලා ඉන්න" යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

මෙම සියලු සිදුවීම් දාමයන් අනුව පැහැදිලි වන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට සැලසුම් කරමින් සිටින බවයි. ඔහු මේ දිනවල සජබය එජාපයට හරවාගැනීමේ වෑයමක නිරතවන්නේද මේ පසුබිම සකසාගැන්මටය.