
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අංක 05 අධිකරණ ශාලාව තුළ සිදුවූ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනිමෙන් පසු මේවනවිට ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.
නීතිඥ වෙස්ගත් ඝාතකයා, මොහොමඩ් අස්මාන් සෙරිෆ්ඩීන් (34) ලෙස මුලින් හඳුනාගෙන තිබූ නමුත් පසුව එය බොරු නමක් බවත් ඔහු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි බවත් හඳුනාගෙන තිබේ.
ඔහු වෑන් රථයකට ගොඩවන්නේ අදිකරණයේදී ඝාතනය සිදුකර මිනිත්තු කීපයක් ඇතුළතදීය.
ඔහු කොළඹ සිට පුත්තලම දක්වා වේගයෙන් වෑන් රථයෙන් ඉගිළ යන අතර පොලිසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමක් මගින් රටින් පලායන්නට පෙර අල්ලාගන්නට හැකිවිය. ඔහු කල්පිටිය ප්‍රදේශයේ බෝට්ටුවකින් රටින් පලායෑමට උත්සාහ කරමින් සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමග වෑන් රියදුරාද අත්අඩංගුුවට පත්විය.
එක් ආරංචියකින් කියන්නේ ඔහුව පාවාදෙන්නේ ඝාතනය මෙහෙයවූ පිරිස විසින්ම බවයි.
පොලිස් විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව, සැකකරු හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර, බුද්ධි අංශ සමඟ ද සම්බන්ධතා පවත්වා ඇත.
විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව, මෙම ඝාතනය රුපියල් ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇත. කෙසේ වෙතත්, සැකකරුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලකි. ඩුබායිහි රැඳී සිටින ප්‍රබල පාතාල නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු හරහා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව හෙළි වී තිබේ.
කෙහෙල්බද්දර පද්මේගේ පියා වන නිහාල් නමැත්තාට සමීප පාතාල නායක ඔස්මන්ඩ්ට වෙඩි තැබීම හා පසුව නිහාල්ට වෙඩි තබා මරා දැමීමට ගනේමුල්ල සංජීව මින් ඉහත කටයුතුකර තිබූ බැවින් පලිගැනීමේ චේතනායවකින් මේ ඝාතනය කරවන්නට ඇතැයි අනුමාන කරයි.
සමිඳු දිල්ෂාන් නමැත්තා කුලී ඝාතකයෙකු බව පොලිසිය පවසයි. දැඩි අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සැකකරු, මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා කොන්ත්‍රාත් ඝාතනවල නිරත වී ඇත. ඔහු පසුගිය ජනවාරි මස ගල්කිස්ස වටරප්පල පාරේදී සිදුකළ ඝාතනයක් ඇතුළු ඝාතන පහකට සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වී තිබේ.
සීදූව ලියනගේමුල්ලේදී පසුගිය දෙසැම්බර් 28 වැනිදා ව්‍යාපාරික පවුලක පියෙකු සහ පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ද ඔහු සම්බන්ධ බවට සැක කෙරේ.
අධිකරණයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ තවත් ප්‍රධාන චරිතයක් වන්නේ නීතිඥවරියක ලෙස වෙස්ගත් කාන්තාවකි. මීගමුව කටුවැල්ලේගම පාරේ පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති මෙම කාන්තාව මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව හෙළි වී තිබේ. ඇය සුදු සහ කළු පැහැති සාරියකින් සැරසී අධිකරණ සංකීර්ණයට ඇතුළු වී ඇත.
ආරක්ෂක කැමරා පටිගත කිරීම්වලින් හෙළි වන්නේ කාන්තා සැකකාරිය මුලින්ම අධිකරණයට ඇතුළු වී ඇති බවයි. ඇය දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුළ 0.38 කැලිබර් රිවෝල්වරය සඟවාගෙන පැමිණ ඇත. ඇය ලිපිගොනු රැසක් ද අතැතිව පැමිණ ඇති අතර, ගිනි අවිය සහිත පොත නීතිඥවරුන් රැඳී සිටින කාමරයේ තබා ඇය එතැනින් ඉවත්වන්නේ පසුව එන සමිඳුට එය ලබාගන්නට හැකිවන ලෙසයි.
පසුව නීතිඥ වෙස්ගත් වෙඩික්කරු අධිකරණයට ඇතුළු වී ඇත්තේ ලිපිකවරයක් පමණක් අතැතිවය. වෙඩි තැබීමට පෙර කාන්තා සැකකාරිය අධිකරණ පරිශ්‍රයෙන් ඉවත් වී ඇති බවට දැන් කරගෙන යන පරීක්ෂණවලදී හෙලිව ඇත.
වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු රිවෝල්වරය විත්ති කූඩුව අසලට විසි කර දමා,
"අන්න ගණේමුල්ල සංජීව පැන්නා. වෙඩි තියනවා. වෙඩි තියනවා" යැයි කෑ ගසමින් පලා ගොස් තිබේ.
මෙම ඝාතනය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක් විසින් සැලසුම් කර ඇති බව පොලිස් බුද්ධි අංශ වාර්තා කරයි. කමාන්ඩෝ සලින්ද, බටුවත්තේ චාමර, ජා-ඇල ජූඩ්, සහ කෙසෙල්වත්තේ දිනුක යන අය මෙම සැලසුමට සම්බන්ධ බවට සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් පහක් පත්කර ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන විමර්ශනය සිදුවෙයි. ඉදිරියේදී විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.
සාමාන්‍යයෙන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරෙන සංජීව, මෙදින විශේෂ හේතුවක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 12 දෙනෙකුගේ ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබ තිබිණි. ඔහුට එදින නඩු තුනක් විභාග වීමට නියමිතව තිබිණි.
ඔහු බූස්ස සිට රැගෙන එන අවස්ථාවේ සිට ඝාතකයින්ට පනිවිඩ ලැබෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරුට ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව අද දහවල් දන්වා සිටියේය.
පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන මෙම කාන්තාව 25 හැවිරිදි වියේ පසුවන අතර
995892480v දරන ජාතික හැදුනුම්පත් අංකය දරන මෙම කාන්තාව අංක 243/01 මීගමුව පාර ,ජය මාවත,කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මෙම සැකකාර කාන්තාව පිලිබද තොරතුරක් වෙතොත් පහත අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ අපරාධ කොට්ඨාශය අධ්‍යක්ෂ - 071 -859 1 727
කොළඹ අපරාධ කොට්ඨාශය ස්ථානාධිපති -071 859 1 735
තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය සුරකින බවත් සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval