Plane with 10 passengers missing in Alaska - evidence suggests it crashed into water

බෙරින් එයාර් සමාගමට අයත් වාණිජ ගුවන් යානයක් ඇලස්කාවේ නෝම් ප්‍රදේශය අසල රේඩාර් තිරයෙන් ගිලිහී ගොස් ඇති බව BNO පුවත් ආයතනය වාර්තා කරයි. මගීන් 9 දෙනෙකු සහ ගුවන් නියමු ඇතුළු 10 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය සම්බන්ධයෙන් සෙවුම් හා මුදවා ගැනීමේ මෙහෙයුමක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.





ඇලස්කා ප්‍රාන්ත පොලීසිය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2025 පෙබරවාරි 6 වන දින සවස 4:00ට ප්‍රමාද වී ඇති ගුවන් යානය පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇති බවයි. අතුරුදහන් වූ බෙරින් එයාර් කැරවන් ගුවන් යානය උනලක්ලීට් සිට නෝම් දක්වා ගමන් කරමින් සිටියදී සම්බන්ධතා විසන්ධි වී ඇත. බලධාරීන් පවසන පරිදි සෙවුම් හා මුදවා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය අවසන් වරට වාර්තා වූ ස්ථානයට ළඟා වීමට උත්සාහ දරමින් සිටිති.

ගුවන් යානය පස්වරු 2:37ට උනලක්ලීට් වෙතින් ගුවන්ගත වී, පස්වරු 3:16ට බෙරින් මුහුදේ නෝටන් සවුන්ඩ් ප්‍රදේශය ඉහළින් අවසන් වරට දක්නට ලැබී ඇත. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසන පරිදි ගුවන් යානය අතුරුදහන් වන විට වෙරළ සිට සැතපුම් 12ක් ඈතින් පිහිටා තිබී ඇත.

නෝම් ගිනි නිවන දෙපාර්තමේන්තුව තහවුරු කළේ සෙවුම් හා මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.



"අපි දැනට අතුරුදහන් වූ බෙරින් එයාර් කැරවන් ගුවන් යානය සම්බන්ධ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් සිටිමු," යනුවෙන් නෝම් ස්වේච්ඡා ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසීය. "අපි නෝම් සහ වයිට් මවුන්ටන් ප්‍රදේශවල සිට ක්‍රියාත්මක බිම් සෙවුම් මෙහෙයුමක් සිදු කරමින් සිටින අතර, සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු රැස් කරමින් සිටිමු."

මේ අතර නෝම් හි පදිංචිකරුවෙකු වන වෝල්ටර් රෝස් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර ඇත්තේ යානය ජලයට වැටුණ බව තමා දුටු බවයි.

"බෙරින් එයාර් ගුවන් යානයක් අද සවස 4:50ට පමණ නෝම් හි සිට නැගෙනහිර-දකුණු-නැගෙනහිර දිශාවට සැතපුම් 25ක් පමණ දුරින් පතිත විය. මිනිත්තු 45කට පමණ පෙර, පොලීසියට මං කිව්වා තාම කිසිවෙකු ආවෙ නැහැ. අවශ්‍ය නං උදව් කරන්න මගේ යාත්‍රාව සූදානම්. " යැයි රෝස් X හි පළ කර තිබේ.

බෙරින් එයාර් යනු බටහිර සහ වයඹ ඇලස්කාවේ ප්‍රජාවන්ට සේවය සපයන, නෝම්, ඇලස්කා මූලස්ථානය කරගත් කලාපීය ගුවන් සේවයකි.