ඉරිදා (පෙබරවාරි 09) දින පානදුර විදුලි උපපොළේ සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳ වැටුණු අතර, මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගැනීම සඳහා නිසි සැලැස්මක් නොතිබීම බව දැන් වාර්තාවේ.
මෙම ක්‍රියාමාර්ගයට පසුගිය රජයන්ගේ ක්‍රියාකලාපය හේතු වී ඇති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසන අතර එය තාක්ෂණිකව පැහැදිලි කරන ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ සූර්ය පැනල ධාරිතාව ඔරොත්තු දීමට විකල්ප තනා නැතිවීම මත ගැටලු ඇතිවීම නිසා සමස්ත පද්ධතියටම ප්‍රශ්නය බලපෑ බවයි.


විදුලි බලය ඇණහිටි අවස්ථාවේ සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරගන්නා ලෙසද රජය නිවේදනය කර තිබූ අතර සූර්ය පැනල සවිකිරීමේදී ගෘහ මූලිකයින් හා මණ්ඩලය අතර ගිවිසුම්ප්‍රකාරව එවැන්නක් සිදුවීමට ඉඩක් නැති පරිදි සවිකිරීම් සිදුකරන බව මණ්ඩලය මෙම නිවේදනයේදී සලකා තිබුනේ නැත.

අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ පසුගිය රජයන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග හා සැලසුම් විරහිත වැඩපිළිවෙල මෙම විදුලි බිඳවැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් නිකුත් කළ  නිවේදනයක් අනුව, මෙම සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇත. එනම්, ඉරිදා දිනවල දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත විදුලි ජනනයෙන් වැඩි කොටසක් ස්ථායීතාවය අඩු සූර්ය බලශක්තියෙන් නිපදවීමයි.

ඉංජිනේරු සංගමයේ තාක්ෂණික විශ්ලේෂණයට අනුව, පානදුර විදුලි උපපොළේ 33 kV පෝෂක අංගනයේ සිදුවූ හදිසි බිඳවැටීමත් සමඟ, අඩු විදුලි ඉල්ලුම හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය හේතුවෙන් දැනටමත් අස්ථාවර තත්ත්වයක පැවති ජාතික විදුලි පද්ධතිය තවදුරටත් අසමතුලිත විය. මෙහිදී ස්වයංක්‍රීය හදිසි බිඳවැටීම් කළමනාකරණ පද්ධතියට පවා මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ බව සංගමය පෙන්වා දෙයි.



විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මෙවැනි අවදානම් තත්ත්වයන් මීට පෙර ඉරිදා දිනවලදීද උද්ගත වී ඇති නමුත්, විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ විශේෂ දක්ෂතාවය නිසා එම අවස්ථාවල පූර්ණ විදුලි බිඳවැටීමක් වළක්වා ගැනීමට හැකි වී තිබීමයි.

අනාගතයේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් සහ ජල පොම්ප බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව ඉංජිනේරු සංගමය තවදුරටත් පෙන්වා දෙයි.

විදුලි බිඳවැටීමෙන් පසු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය සහ අනෙකුත් අංශ විශාල කැපවීමකින් කටයුතු කළ බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි අවබෝධයක් ඇති කිරීමට යම් යම් පාර්ශ්ව උත්සාහ දරන බවත් සංගමය නිරීක්ෂණය කර ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ සියලු ජනතාවට සිය කනගාටුව ප්‍රකාශ කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසන අතර, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දායක වූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කර සිටී.

මෙම සිදුවීමට හේතු වූ මූලික කරුණු පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කර, අනාගතයේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද අමාත්‍යවරයා සහතික වී සිටී.