one-person-has-been-killed-in-a-shooting-in-kotahena-area

කොළඹ කොටහේන ප්‍රදේශයේ අද (10) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

කොටහේන බෙනඩික්ට් මාවතේදී යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.



මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 43ක් වූ අයෙකු බව හඳුනාගෙන ඇත. පොලිස් විමර්ශන වාර්තා අනුව, ප්‍රහාරය සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බව තහවුරු වී තිබේ.

සිද්ධියෙන් පසු ප්‍රහාරකයින් දෙදෙනා යතුරුපැදියෙන් පලායාමට සමත් වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් මෙහෙයුම් ආරම්භ කර ඇත.



පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන පරීක්ෂණවලදී සැකකරුවන් හඳුනාගැනීමට උත්සාහ දරමින් සිටින අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොටහේන පොලීසිය විසින් සිදු කරමින් පවතී.