
ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීමේ චෝදනාවට ලක්ව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් පොලිස් බුද්ධි අංශයේ සාර්ථක මැදිහත්වීමෙන් ව්‍යර්ථ කරන ලද බව පොලිසිය කියයි.
පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බුද්ධි අංශයේ නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන පොලිසිය සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ බිරිඳ දැනට විදේශගතව සිටින බවත්, බිරිඳගේ පවුලේ සාමාජිකයින් පන්නල ප්‍රදේශයේ පිහිටි නිවසක වාසය කරන බවත්ය.
පොලිස් ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ, පෙබරවාරි 24 වැනි දින සවස් කාලයේදී එම නිවස වීඩියෝගත කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. මෙම තොරතුරු ලැබීමත් සමඟම ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
පොලිසිය වැඩිදුරටත් හෙළි කළේ, ඝාතන උත්සාහය සිදු කිරීමට යත්න දැරූ අවස්ථාවේදී කෙහෙල්බද්දර පද්මේගේ බිරිඳගේ මව, පියා සහ බාල සහෝදරයා එම නිවසේ රැඳී සිටි බවයි.
විමර්ශන වලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් තිබී සොයාගෙන ඇති බවයි. පොලිසිය පවසන ආකාරයට, මෙම ගිනි අවිය 'ඩුබායි සමීර' ලෙස හඳුන්වන විදේශයක රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් සැකකරුවන්ට ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දැනට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින අතර, ඉදිරි දිනවලදී ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව පොලිසිය තවදුරටත් සඳහන් කර ඇති අතර, ඉදිරි දිනවලදී මෙම ඝාතන සැලසුමට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව බලධාරීන් විසින් අනාවරණය කර ඇත.
සම්බන්ධිත ලිපි
තාත්තා මැරූ දෙන්නාවම 2022 හා 2025 හමාර කළ කෙහෙල්බද්දර පද්මේගේ කතාව

