
ගාල්ල, හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ පිහිටි දිසාරා ගෙස්ට් හවුස් නම් ලැගුම්හලක සිදුවූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ තවලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රියන්ත ජයතිලක සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජනවාරි 30 වන දින රාත්‍රී 11.15ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයෙන් ලැගුම්හලේ හිමිකරු වන පී.ඩබ්ලිව්.ඩී. ඉඳුනිල් සමන් කුමාර (55), බටපොල නාමල් සෙවණ පදිංචි එස්.එම්. නෙවිල් (34) සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි චතුරංග කුමාර බටගොඩ (39) යන තිදෙනා ඝාතනයට ලක්විය.
පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට, මෙම ඝාතන පිටුපස ඇත්තේ විදේශ රැකියා ජාවාරමක් සම්බන්ධ මුදල් ගනුදෙනුවක් බවට සැක කෙරේ. ඝාතනයට ලක්වූ නෙවිල් මහතා සහ ඔහුගේ සහෝදරයා විදේශගත වීමේ අපේක්ෂාවෙන් පිළිවෙලින් රුපියල් ලක්ෂ 15ක් සහ ලක්ෂ 13ක මුදලක් දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු මාර්ගයෙන් ප්‍රියන්ත ජයතිලක මහතාට ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ මෙම ප්‍රහාරය අවස්ථාවේ ලැගුම්හල තුළ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර, ඔවුන් දිවගොස් පලා යාමට සමත් වී තිබේ. සිද්ධිය වූ ස්ථානයෙන් T-56 උණ්ඩ කොපු 28ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
විමර්ශනවලින් තවදුරටත් හෙළිවී ඇත්තේ විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීම මත නෙවිල් නැමැති පුද්ගලයා ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි. නෙවිල් මහතා විසින් කරන්දෙණිය සුද්දාට තමා බිය නැති බව පවසමින් සම්බන්ධීකරණ ලේකම්වරයාට දොස් නගා ඇති බවද හෙළිවී තිබේ.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ඝාතනයට ලක්වූ දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු ඉඳුනිල් සමන් කුමාර මහතා සහ අත්අඩංගුවට ගත් ප්‍රියන්ත ජයතිලක මහතා යන දෙදෙනාම හිටපු විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාරගේ සමීපතම සගයන් වීමයි. ඔවුන් එකට සිට ලබාගත් ඡායාරූපයක් මේ සමග පළවේ.
පොලිස් විමර්ශන කණ්ඩායම් විසින් සැකකරු වන ප්‍රියන්ත ජයතිලක මහතාගෙන් මූලික ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔහු මුලදී සැඟවී සිටි නමුත් පසුව පොලීසියට භාරවීමට එකඟ වී ඇත. මෙම ත්‍රිත්ව ඝාතනය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ඔහු සතුව ඇති බවට පොලීසිය විශ්වාස කරයි.
පොලිස් විමර්ශන භාර උසස් නිලධාරියෙකු පවසන පරිදි, මෙම වෙඩි තැබීම මෙහෙයවූ පුද්ගලයන් කවුරුන්ද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති නමුත්, ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි නෙවිල් නැමැත්තා බව තහවුරු වී තිබේ.
විමර්ශන දිගටම සිදුකෙරෙන අතර, මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටී.


0 Comments