
ගම්පොළදී සිදුවූ බව වාර්තා වූ පාසල් සිසුවෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්පූර්ණ අසත්‍යයක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන තුනක ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් නොමඟ යවා ඇති බව ගම්පොළ, ඇත්ගාල පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනවලින් තහවුරු වී තිබේ.
වික්‍රමබාහු ජාතික පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවා පසුගිය දා (2) අලුයම 1.30ට පමණ හැටන් මූලස්ථාන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ මවුපියන් ද සමඟින් ගම්පොළ,
ඇත්ගාල පොලීසිය වෙත පැමිණ තමා පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
උලපනේ, උඩගම ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා පවසා තිබුණේ සෙනසුරාදා සවස 3.30ට පමණ ගම්පොළ නගරයේ අධ්‍යාපන ආයතනයක අතිරේක පන්තියකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී තිදෙනෙකු විසින් තර්ජනය කර වෑන් රථයකින් හැටන් දෙසට පැහැරගෙන ගිය බවයි. හැටන් නගරය ආසන්නයේදී වෑන් රථයේ ජනේලයකින් පැන පලා යාමට හැකි වූ බවත්, ත්‍රීරෝද රථයක් නවතා එම සිද්ධිය පැවසූ පසු එම ත්‍රීරෝද රථ රියදුරු තමා හැටන් පොලීසිය වෙත භාර දුන් බවත් සිසුවා පැවසීය.
කෙසේ වෙතත්, ගම්පොළ, ඇත්ගාල පොලීසිය විසින් සිදු කරන ලද පුළුල් පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබේ. ඇත්ගාල පොලිස් ස්ථානාධිපති සෙනරත් කැකුළන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු පරීක්ෂණවලදී ගම්පොළ සිට නාවලපිටිය දක්වා සීසීටීවී කැමරා 12ක දර්ශන පරීක්ෂා කර තිබේ.
විමර්ශනවලදී අනාවරණය වූ වැදගත් කරුණක් නම්, සීසීටීවී කැමරා දර්ශනවල පැහැදිලිව පෙනී ගියේ මෙම සිසුවා තම යහළුවෙකු සහ එම යහළුවාගේ මව සමඟ ගම්පොළ නගරය තුළ ගමන් කරමින් සිටි ආකාරයයි.
සිසුවා පැවසූ පරිදි නාවලපිටිය බස් රථයක ගමන් නොකළ බවත්, ඒ වෙනුවට හැටන් බලා යන බස් රථයකට ගොඩ වූ බවත් සාක්ෂි මගින් තහවුරු වී තිබේ.
පොලිස් විමර්ශන වාර්තා අනුව, සිසුවා බස් රථයේදී නින්දට වැටී ඇහැරුණු විට හැටන් නගරය ආසන්නයට පැමිණ සිටි බව දැන ගැනීමෙන් පසු, නිවසේ අයට කුමක් කිව යුතුද යන්න පිළිබඳව කල්පනා කර තිබේ. පියාට බියෙන් සිටි සිසුවා, ගුටි කෑමට සිදුවේ යැයි බියෙන් ත්‍රීරෝද රථයක් නවතා තමා පැහැරගැනීමකට ලක් වූ බවට බොරු කතාවක් ගොතා ඇත.
මෙම අසත්‍ය පැමිණිල්ල හේතුවෙන් පොලිස් නිලධාරීන් තිහක් පමණ, පොලිස් ජීප් රථ තුනක්, ත්‍රීරෝද රථ දෙකක් යොදවා දින දෙකක කාලයක් අපතේ යැවීමට සිදු වී තිබේ. කෙසේ වෙතත්, පොලිස් ස්ථානාධිපති සෙනරත් කැකුළන්දර මහතා සිසුවාගේ ක්‍රියාව දඬුවම් කිරීමට වඩා ඔහුගේ මානසික තත්ත්වය සලකා බලා උපදේශන සේවාවක් ලබා දීමට කටයුතු කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා සහ සහකාර පොලිස් අධිකාරි දුෂ්‍යන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. මෙවන් අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
0 Comments