Audit reveals expenditure of Rs. 2617 million on energy project to be given to Adani Company

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මන්නාරම සහ පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘති දෙකෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ පසුගියදාය.



ශ්‍රී ලංකාවේ සුළං බලය ශ්‍රී ලංකාවට‍ම වැඩි මිලට විකුණාගෙන ඉන්දියාවටද විකිණීමට අදානිගේ සැලසුමක් පැවති අතර අසාධාරණ මිල ගණන් ඉදිරිපත් කරමින් ඔහු සූරාකන්ට සූදානම් වූයේ යයි ජනපති අපේක්ෂක අනුරකුමාර මැතිවරණ සමයේ ප්‍රකාශ කර තිබුණි. පසුව ජාජබ රජය පැමිණි පසු අදානිට මේ සඳහා අවසරය දීම නැවත සලකා බලන බවට කැබිනට් නිවේදනයක්ද නිකුත් විය.
මේ අතර පසුගිය සතියේ වාර්තා වූයේ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය දේශීය සමාගමක් වන හේලීස් වෙත ලබාදී ඇති බවත් අවම ලංසුව ඉදිරිපත් කළ එම සමාගමට සාධාරණ පටිපාටියක් ඔස්සේ එය ලබාදී තිබූ බවත්ය.



මෙම තීරණයට පෙර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටුවීමටද තීරණය කර තිබුනේ යම් යම් දේශපාලන කාරනා මත එම සමාගම විශාල ව්‍යාපෘතියකට සම්බන්ධවීමට උත්සාහ දරන අතරේය.


ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිතව තිබූ  මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පුනර්ජනීය බලශක්ති බලාගාර ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට පිරිනැමීමට සූදානම්වී ඊට පෙර, එහි මූලික සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2,617ක මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2022 නොවැම්බර් 8 වැනි දින ව්‍යාපෘති සංවර්ධකයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම වියදම් වූ මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත්, පසුව අධිකාරිය විසින් සිය මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර ඇත්තේ ව්‍යාපෘති සංවර්ධකයාගෙන් ලැබිය යුතු මුදල රුපියල් මිලියන 1,125ක් පමණක් බවයි.



ජාතික විගණන කාර්යාලය විසින් 2023 වර්ෂය සඳහා නිකුත් කර ඇති විගණන වාර්තාවේ විශේෂයෙන් පෙන්වා දෙන්නේ මුල් ඉල්ලීම වූ රුපියල් මිලියන 2,617 සිට රුපියල් මිලියන 1,125 දක්වා මුදල අඩු කිරීම සම්බන්ධයෙන් ආයෝජකයා සමඟ ඇති කර ගත් කිසිදු එකඟතාවයක් විගණනයට ඉදිරිපත් කර නොමැති බවයි. මෙම වටිනාකම අඩු කර ගැනීමට අදාළ එකඟතා පිළිබඳ විස්තර හැකි ඉක්මනින් විගණනය වෙත ඉදිරිපත් කළ යුතු බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙම පුනර්ජනීය බලශක්ති බලාගාර ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනැමීම සඳහා 2022 මාර්තු 5 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු බලශක්ති ප්‍රමාණයක් එක් කිරීමට අපේක්ෂිත අතර, පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් වැඩි දියුණු කිරීමේ ජාතික ඉලක්කයන් සපුරා ගැනීමට දායක වනු ඇත.

විගණන වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයට මූලික සංවර්ධන කටයුතු සඳහා වැය කළ මුදල ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න මතුව ඇත.

මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ලේඛනගත සාක්ෂි නොමැති වීම සහ මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර ඇති අඩු කරන ලද මුදල පිළිබඳ නීත්‍යානුකූල පදනම පැහැදිලි නොවීම ගැටලුසහගත තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත.

විගණන වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ මුදල අඩු කිරීමට අදාළ සියලු එකඟතා පිළිබඳ ලිඛිත සාක්ෂි අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බවත්, මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර ඇති මුදල් අඩු කිරීම්වල නීත්‍යානුකූලභාවය තහවුරු කළ යුතු බවත්ය. තවද, ඉදිරි ව්‍යාපෘති සඳහා මූලික වියදම් දැරීමේදී වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැන් අවධානය යොමු කළ යුත්තේ විගණන නිර්දේශ අනුව අවශ්‍ය ලේඛන සහ සාක්ෂි ඉදිරිපත් කිරීම, මුදල් අඩු කිරීමේ තීරණයට පාදක වූ සාධක පැහැදිලි කිරීම, සහ ව්‍යාපෘති සංවර්ධකයා සමඟ මූල්‍ය එකඟතා පිළිබඳ නිශ්චිත ස්ථාවරයක් ගැනීම වැනි කරුණු කෙරෙහිය.

මෙම විගණන සොයාගැනීම් රජයේ විශාල පරිමාණ ව්‍යාපෘති කළමනාකරණයේදී මූල්‍ය විනිවිදභාවය සහ වගවීම පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ඇති කර තිබේ. විශේෂයෙන් විදේශීය ආයෝජකයින් සමඟ සිදු කරන ව්‍යාපෘතිවලදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම මෙමගින් අවධාරණය කෙරේ.